බ්‍රහස්‌පතින්දා උදය වරුවේ චන්දිම වීරක්‌කොඩි අමාත්‍යවරයාගේ දුරකථනයට හිටිහැටියේම විශේෂ දුරකථන ඇමතුම පැමිණියේ ය.
“අපි මේ අහවල් FM සේවාවෙන්” කියමින් එහා කෙළවරින් කතා කළේ ලංකාවේ ජනප්‍රියම FM සේවාවක නිවේදකයෙකි.
“අපේ ප්‍රවෘත්ති අධ්‍යක්‌ෂතුමාට ඔබතුමාට කතා කරන්න ඕනලු” කියමින් ඔහු තවත් අයෙක් වෙත දුරකථනය යොමු කළේය.
“බදාදා සිරස මූලස්‌ථානයට එල්ල කරපු ප්‍රහාරය ගැන ඔබතුමා මොනවද දන්නේ”
එහා පැත්තෙන් හිටිහැටියේම අසන ලද ප්‍රශ්නය නිසා චන්දිම මහත් අපහසුතාවකට පත් විය. එහෙත් ඔහු උත්තර දුන්නේ ය.
“කවුද ගහලාලු නේද? කවුරු කළත් මහ කැත වැඩක්.. මම දන්නෙත් අද උදේ 10. 00 ට විතර”
“ඔබතුමා නිකං බබා වගේ කතා කරන්න හදන්න එපා. අපට ආරංචි වුණා ඊයේ දවල් ඉඳලා ඔබතුමා තමයි මේ ප්‍රහාරය මෙහෙයවන්න ප්ලෑන් කළේ කියලා”
“මේ මම? ඔයගොල්ලන්ගේ ඔළුව හොඳ නැද්ද?”
“නෑ…නෑ… හානියක් කරන්න නෙවෙයි අපි කතා කළේ… ඔබතුමාගේ නම තමයි මේකට දැන් ගෑවිලා තියෙන්නෙ. අපිට රාජිත ඇමැතිතුමායි අන්වර් මන්ත්‍රීතුමායි කිව්වා මේකට ඔබතුමාගේ සම්බන්ධයක් නැහැ කියල ඔබතුමාගෙන් වොයිස් කට් එකක් අරන් ඔබතුමාව හිමීට ෂේප් කරලා දාන්න කියලා. ඒකයි අපි කතා කළේ. අපේ නිවේදකයා දැන් ඔබතුමාට කතාකරයි. එයාට ප්‍රකාශයක් දෙන්න. මේකට මම සම්බන්ධයක් නෑ. මම හිටියේ වෙනත් තැනක කියලා කියන්න. එච්චරයි කරන්න තියෙන්නෙ.” කියමින් ප්‍රවෘත්ති අධ්‍යක්‌ෂවරයා දුරකථනය තම නිවේදකයාට භාර කළේය.
“මේ හලෝ… ඔය ගොල්ලන්ට වැරදීමක් වෙලා. කරුණාකරලා කියනවද කාටද ඔයාලා ඔය කතා කරන්නෙ කියලා.”
“ඔය කතා කරන්නේ අපේ කිත්සිරි රාජපක්‌ෂ මන්ත්‍රීතුමා නෙවෙයිද?”
“මඟුල… මම දන්න කිත්සිරියෙක් නෑ. මම මේ චන්දිම වීරක්‌කොඩි.”
එසේ කී පමණින් අනිත් පැත්තෙන් දුරකථනය විසන්ධි විය.
කිත්සිරි රාජපක්‌ෂ යනු කවරෙක් දැයි චන්දිම සොයා බැලුවේ ඉන් පසුවය.
කිත්සිරි යනු මැදමුලනට සම්බන්ධ අයකු නොව, කොළඹ මරියකඩේ සිටි චණ්‌ඩියකුට සම්බන්ධ අයකු බවත්, මේ වන විට ඔහු කොළඹ නගර සභාවේ එජාප මන්ත්‍රීවරයකු බවත් චන්දිම සොයා ගත්තේ ඉන්පසුවයි.

