කුසලානය අහිමි උනාට නිදහස් කුසලාන තරඟාවලියේ අපේ අයගේ සුපිරි වැඩ කිඩ මෙන්න…

කුසලානය අහිමි උනාට නිදහස් කුසලාන තරඟාවලියේ අපේ අයගේ සුපිරි වැඩ කිඩ මෙන්න…
Spread the love

නිදහස් කුසලාන අවසන් තරඟයේ දිනේෂ් කාර්තික් බංගලාදේශයට එරෙහිව එල්ල කල හයේ පහරෙන් දිනුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ද?රෝහිත් ශර්මා තරඟාවලියේ ජයග්‍රාහී කුසලානය රැගෙන පිටිය වටේ යාම නිසා අපේ රටට කුසලානය ලැබුනා වගේ උත්තේජනයක් ප්‍රේක්ෂකයන්ට ලැබුනාද,මේ සතුට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ලබා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් ප්‍රශ්නයක් නොවන අතර සහෝදර කණ්ඩායමක ජයග්‍රහණයේදී සතුටු වීම හොඳ ප්‍රේක්ෂකයන් සතු ලක්ෂණයකි.

නමුත් ප්‍රේක්ෂකයන් මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ද ඉන්දීය ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වී ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය අමතක කරනවානම් එය එතරම් හොඳ දෙයක් නොවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම තම මව් බිමේදී පරාජය වන්නේ සුපිරි ඉන්දීය ක්‍රීඩකයන් නැති කණ්ඩායමකට සහ බංගලාදේශයේ දී පරාජය කර බිමට සමතලා කර දමා පැමිණි බංගලාදේශ කණ්ඩායමට වීම තවත් බරපතල ප්‍රශ්නයකි.

බංගලාදේශයේ තරඟ ජයග්‍රහණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම නිදහස් කුසලානයට වෙනස් විය හැකි බව පුහුණුකරු සහ තේරීම් කමිටු නිලධාරියෙකු වන චන්දික පැවසුවද අපට කණ්ඩායම නම් කිරීමේදී එතරම් වෙනසක් දකින්නට ලැබුනේ නැත.තරඟාවලියට පෙර අසංක ගුරුසිංහ ද පැවසුවේ දේශීය T20 තරඟාවලියේ වැඩ පෙන්වන ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණීමට හැකි වන බැවින් සංචිතය නම් කරන්නේ දේශීය තරඟාවලියේ තරඟ කිහිපයක් අවසන් වීමෙන් පසුව බවය.

කෙසේ හෝ සංචිතය නම් කිරීමේදී දේශීය තරඟාවලියේ වැඩ පෙන්වූ කී දෙනෙකු කණ්ඩායමට පැමිණියාද යන්න ප්‍රශ්නයකි.ශ්‍රී ලංකා කණ්ඩායමට වේගපන්දු යවන්නන් ලෙස කැඳවන්නේ නුවන් ප්‍රදීප්,සුරංග ලක්මාල්,දුෂ්මන්ත චමීර සහ ඉසුරු උදානය.මෙම ක්‍රීඩකයන් අතරින් ඉසුරු උදාන හැර අනෙත් ක්‍රීඩකයන් තිදෙනාම ඉතා දක්ෂයන් වුවද T20 තරඟ වල සාර්ථක වීමට හැකි පන්දු සංකලනයක් ඔවුන් සතු වනවාද යන්න ප්‍රශ්නයකි.මොවුන් ඉතා දක්ෂ ටෙස්ට් පන්දු යවන්නන් බව කිසිම විවාදයක් නැත,නමුත් දක්ෂ පන්දු යවන්නන් වූ පමණින් T20 කණ්ඩායමේ ක්‍රීඩා කල හැකිද,ලෝකයේ ඉතා දක්ෂ වේගපන්දු යවන්නන් ලෙස සැලකෙන ඇන්ඩසන්,බ්‍රෝඩ්,ෆිලැන්ඩර් ,හෙල්සවුඩ් වැනි ක්‍රීඩකයන් එරට ජාතික T20 කණ්ඩායමට ඇතුලත් නොවන්නේ ඇයිද යන්න විමසා බලනවානම් ශ්‍රී ලංකාව මෙවැනි තේරීම් නොකරනු ඇත.

නිදහස් කුසලානයේ පන්දු යවන්නන් පෙන්වූ දක්ෂතා බැලීමේදී අපේ පන්දු යවන්නන් සිටින තැන ගැන අපිට අවබෝද කරගත හැක.තරඟාවලියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතින් වැඩිම කඩුලු ලබාගත් නුවන් ප්‍රදීප් පන්දු යවන්නන් අතර හත් වන තැන දිනා සිටින්නේ පන්දුවාරයකට ලකුණු 11 කට ආසන්න ලකුණු ප්‍රමාණයක් ලබා දෙමිනි.තරඟාවලියේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් වූ ජීවන් මෙන්ඩිස් සහ අකිල ධනංජය ද තරඟාවලියේ සෙසු දෙරටේ දඟ පන්දු යවන්නන් හමුවේ සිටින්නේ පහල ස්ථානයකය.

ශ්‍රී ලංකාවට මාලිංග අමතක කර තරඟාවලියට පැමිණියද මාලිංග දේශීය T20 තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙමින් පෙන්නුම් කලේ තමාට අභියෝග කරන්නට තවමත් දේශීය පිටියේ ජගතෙකු නැති බවය.ශ්‍රී ලංකා තේරීම් කමිටුව වේගපන්දු යවන්නන් තේරීමේදී පන්දුවේ වේගය ගැන සිතුවා නම් අසිත් ප්‍රනාන්දු බංගලාදේශ තරඟාවලියෙන් අනතුරුව කණ්ඩායමෙන් ඉවත් වීම ප්‍රශ්නයකි.මන්ද ඔහු පසුගිය කාලයේ දේශීය පිටියේ හොඳින්ම කඩුලු අතර සිටින වේග පන්දු යවන්නා වන නිසාය.ශ්‍රී ලංකා T20 කණ්ඩායමට පසු ගිය කාලයේ පැමිණි විකුම් සංජය ද තමාට ලැබුන අවස්ථා වල ඉතා උසස් පන්දු වාර කිහිපයක් යවන අකාරය අපට දක්නට ලැබුනේ නව පන්දුවෙන් පන්දුව දෙපසටම දෝලනය කිරීමේ ඔහුගේ හැකියාව සමඟය.

පිතිකරුවන්ගේ කථාවද මීට වෙනස් නැත.කුසල් පෙරේරා කණ්ඩායමට පැමිණීම ඉතා ඉහලින් සමරන ආකාරය දැකගන්නට ලැබුන අතර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ සිටින වඩාත් ප්‍රශ්නකාරීම පිතිකරුවා වීම ඔහුට මෙන්ම කණ්ඩායමටද තර්ජනයක් වී ඇත.තරඟාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් දසදෙනා අතරට ශ්‍රී ලංකා පිතිකරුවන් ඇතුලත් වන්නේ දෙදෙනෙකු පමණක් වනාතර කුසල්ලා දෙදෙනා එලෙස දක්ෂතා පෙන්වද්දී ශ්‍රී ලංකා පිතිකරුවන් අතර තෙවන තැන දිනා ගන්නේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාය.

ධනුෂ්ක ගුණතිලක,උපුල් තරංග, දිනේෂ් චන්දිමාල් සහ දසුන් ශානක මීට වඩා වගකීමෙන් ක්‍රීඩා කල යුතු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ T20 පිතිකරුවන් ලෙස වැඩ පෙන්වූ ඇන්ජලෝ මැතිව්ස්,අසේල ගුණරත්න,නිරෝෂන් දික්වැල්ල,ධනංජය සිල්වා,ඩිල්ශාන් මුණවීර වැනි ක්‍රීඩකයන් එළියේ සිටියදී මෙම පිතිකරුවන්ට ලැබෙන අවස්ථාවෙන් වැඩ නොගත හොත් කණ්ඩායමෙන් එලියට තල්ලු වන තැනට ඔවුන් ඉක්මනින්ම පත් විය හැක.

මේ නිසා ඉදිරි තරඟාවලි ගැන සිතා,දැන් අපේ හොඳම ක්‍රිකට් මිතුරා වන ඉන්දියාවෙන් ඔවුන් සතු හොඳ දේවල් ඉගන ගත යුතුය.දෝණි නැති විට කාර්තික් සිටින්නේ,කුල්දීප් අශ්වින් නැති විට සුන්දර් සිටින්නේ,කෝලි නායකයා නොවන විට ශර්මා සාර්ථක වන්නේ ඉන්දියාව සතු විදිමත් ක්‍රිකට් සැලසුම නිසාය.ඒ නිසා අපි අපේ හොඳම මිතුරා දෙස බලා හැදෙමු…!