කෘෂිකර්ම අමාත්‍යාංශයට නැවත ගොවිජන මන්දිරයට යන්න නම් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඕනලු

කෘෂිකර්ම අමාත්‍යාංශයට නැවත ගොවිජන මන්දිරයට යන්න නම් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඕනලු
Spread the love
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා යළි බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ගොවිජන මන්දීරය ලබා ගන්නේ නම් ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන අතර ඊට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බව සඳහන්ය.2016 වසරේ සිට වසර 05ක් සඳහා අදාළ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු ගිවිසුමක් ක්‍රියාත්මක වන අතර එහි මුල් වසර තුන සඳහා රුපියල් මිලියන 504ක මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
කෙසේවෙතත් අදාළ ගිවිසුමට අනුව ඉදිරි වසර දෙක සඳහා සියයට 15කින් අදාළ බදු මුදල ඉහළ යන බව සඳහන්ය.ඒ අනුව වසර 05 සඳහා එම ගොඩනැගිල්ලට ගෙවිය යුතු මුළු මුදල රුපියල් මිලියන 960ක් පමණ වන බව විගණන වාර්තාවල සඳහන් වෙයි.
අධික මුදලක් ලබා දෙමින් රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මෙම ගොඩනැගිල්ල තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ඒ අනුව බත්තරමුල්ල රජමල් වත්ත මාවතේ පිහිටි ගොවිජන මන්දීරය කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.
කෙසේවෙතත් අදාළ ගොඩනැගිල්ල යළි කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදීම සඳහා කථානායකවරයාට තනිව තීරණයක් ගැනීමට නොහැකිව පවතින බව වාර්තා වෙයි.