එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි විජයකලා මහේෂ්වරන් මේ දිනවල ආන්දෝලනයට තුඩු දී තිබෙනා චරිතයක්. ඒ ඇය පසුගියදා සිදු කළ කොටි ත්‍රස්තවාදී සංවිධානය නැවතත් ඇති කළ යුතු බවට වන ප්‍රකාශයක් නිසා. කෙසේ වෙතත් මන්ත්‍රීවරිය විසින් සිදු කළ තවත් එවැනිම ප්‍රකාශයක් පිළිබදව වාර්තා වෙනවා. එනම් දේශපාලන සාකච්ඡාවකට එක්වන මන්ත්‍රීවරිය සිය සැමියා වන ත්‍යාගරාජා මහේෂ්වරන්ගේ මරණය පිළිබදව සිදු කරන ප්‍රකාශයකි.
ත්‍යාගරාජා මහේෂ්වරන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ අතර 2008 වසරේ ජනවාරි පළමු වැනිදා කොටි ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඔහු කොළඹදි මරණයට පත් වූවා.
මේ අතර දේශපාලන සංවාදයකට එක්වන විජයකලා මහෙෂ්වරන් මන්ත්‍රීවරිය පවසන්නේ සිය සැමියා ඝාතනය කළේ කොටි ත්‍රස්තවාදීන් යැයි කීම කටකතාවක් පමණක් වන බවයි. එම සංවාදයේදී වැඩි දුරටත් අදහස් දක්වන මන්ත්‍රීවරිය
“කොටි සංවිධානය ඔහු ඝාතනය කළා යැයි කීම කටකතාවක්. පාර්ලිමේන්තුව තුලත්, ඉන් පිටතත් මහජනතාව වෙනුවෙන් ඔහු හඬ නැගූ නිසා කොටි සංවිධානය ඔහුව ඝාතනය කළ බව කියන කතාව බොරුවක්, කොටි සංවිධානය ඔහුව මරා දැම්මා නම් ඇයි පහුගිය ආණ්ඩුව ඉක්මණින්ම මේ ඝාතනය ගැන පරීක්ෂණය කරලා අවසන් කළේ. ඒක නීතිය ඉදිරියට ගෙනියන්න තිබුණා. නමුත් මේ ඝාතනය වහන්න උවමනාවක් තිබුනා කටහරි,
දෙමළ ජනතාවට සිදුවුනු හිරිහැර ගැන ඔහු පාර්ලිමේන්තුවේදි දැඩිව ප්‍රශ්න කළා. ඒ තිබෙන වීඩියෝ සහ හැන්සාර්ඩ් වාර්තා වලින් ඔබලාට ඒ ගැන දැන ගන්න පුලුවන්. මහේෂ්වරන්ගේ මරණයට කොටි සංවිධානයේ කිසිම සම්බන්ධයක් නෑ, එයට හොදම උදාහරණය තමයි පසුගිය කාලයේදී පාර්ලිමෙන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් වන රවිරාජ්, ජෝශෆ් පරරාජසිංහම් යන අයත් කොටි සංවිධානය විසින් ඝාතනයට ලක් කළා කියලා කතාවක් ප්‍රචාරය වුනා,
දැන් සිදු කරගෙන යන පරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා රවිරාජ්ගේ මරණයට රජයට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයි කියලා, ඔවුන් අත්අඩංගුවට ගත්තා. ඒ වගේමයි මහේෂ්වරන්ටත්”
මන්ත්‍රීවරිය ප්‍රකාශ කරන අන්දමට ඇයගේ සැමියා වන ත්‍යාගරාජා මහේෂ්වරන්ගේ ඝාතනයට කොටි සංවිධානය සම්බන්ධ නැත.
පසුගිය දින නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක, විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට දුරකතනයෙන් ඇමතු අවස්තාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ ත්‍යාගරාජා මහේෂ්වරන් මන්ත්‍රීවරයා පිළිබදව ප්‍රශ්න කර සිටියා. එහිදි පෙරලා රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරන විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය ඇසුවේ ” රංජන් ඔයා ඒ වෙලාවේ එතන හිටියද?” යනුවෙන් වීම විශේෂත්වයකි.