කොරෝනා වෛරස අවධානම හමුවේ ඉන්දියාවේ මිත්‍යා ඖෂධ ජාවාරමක්

කොරෝනා වෛරස අවධානම හමුවේ ඉන්දියාවේ මිත්‍යා ඖෂධ ජාවාරමක්
Spread the love

කොරෝනා වෛරසය ආසාදනය වීම අතින් ඉන්දියාවෙන් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ ගණන සාපේක්‍ෂ වශයෙන් ඉහළ සංඛ්‍යාවක් නොවේ. එහෙත් වෛරසය පරාජය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉන්දියාව පුරා මහජනයා නොමඟ යවන සුළු අදහස් ප්‍රචාරය කෙරෙමින් පවතී.

පතුරුවා හරිනු ලැබෙමින් පවතින එවැනි ප්‍රමුඛ මිත්‍යා මත සම්බන්ධයෙන් බීබීසිය කරුණු විභාගයක් සිදු කරනු ලැබ ඇත.

ගවමුත්‍ර පානය සහ ගොම

වෛරස් ආසාදනය වීම මගින් ඇතිවෙන ආබාධ සඳහා සාම්ප්‍රධායික ප්‍රතිකාරයක් වශයෙන් ගවමුත්‍ර පානය සහ ගොම පාවිච්චිකරනු ලැබීම ජනප්‍රිය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවට දීර්ඝ ඉතිහාසයක් ඇත.

දැනට පැතිරයමින් පවතින කොරෝනා (Covid -19) වෛරසය මැඩලීම සඳහාත් ගවමුත්‍ර සහ ගොම පාවිච්චි කළ හැකි යයි පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP )මන්ත්‍රීවරයකු වන සුමන් හරිප්‍රිය (Suman Haripriya) යෝජනා කරයි.

ගවමුත්‍රවල බැක්ටීරියා නාශක පිළිබඳව මීට පෙරත් හැදෑරීම් සිදු කරනු ලැබ ඇත.

කොරෝනා වෛරසය මැඩලීම සඳහා ගවමුත්‍ර පානයට ජනතාව ආකර්ෂණය කර ගැනීමේ අදහසින් හින්දු ජාතිකවාදී කණ්ඩායමක් දිල්ලි අගනුවර ගවමුත්‍රපානෝත්සවයක් සංවිධානය කර තිබුණි.

එහෙත් ”ගවමුත්‍රවල වෛරස් නාශක ශක්තියක් සහිත පදාර්ථ අඩංගු නොවන” බව ඉන්දියාවේ වෛරස් පිළිබඳ අධ්‍යයන සංගමයේ වෛද්‍ය ශෛලේන්ද්‍ර සක්ෂේනා (Dr Shailendra Saxena) පෙන්වා දෙයි.

“එපමනක් නොව, ගවයන්ගේ ගොම පාවිච්චිය ප්‍රතිවිරුද්ධ විපාක ඇති කරන්න ඉඩකඩ තියෙනවා. ගවයන්ගේ අශූචිවල අන්තර්ගත කොරෝනා වෛරස් මිනිසුන්ට බලපාන්න පුළුවන්,” වෛද්‍යවරයා බීබීසියට වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

මධ්‍යසාර තොර අත්‍ පවිත්‍ර දියර

bbc

ගවයන්ගේ ගොම යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද සබන් සහ ඉන්දියානු ගවයන්ගෙන් ලබාගත් මුත්‍රා පෙරමින් සකස් කරන ලද ”කව්පති” මධ්‍යසාර විරහිත අත්‍ පවිත්‍ර දියරය පිළිබඳව 2018 වසරේ පටන් අන්තර්ජාලයේ දැක්වෙයි.

“දැනට තොග අවසන්ව ඇති බව පවසමින් එකී නිෂ්පාදනයට අදාළ ප්‍රචාරක පිටුවේ මෙසේ දක්වා ඇත.

“පවතින අධි ඉල්ලුම හේතුවෙන් අපගේ බොහෝ පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසීම සඳහා එක පාරිභෝගිකයකු විසින් මිලදී ගත හැකි ප්‍රමාණය දැනට සීමා කරනු ලැබ ඇත.”

මේ අතර රාම්දේව් (Ramdev) නම් යෝග ආචාර්යවරයෙක් ජනප්‍රිය හින්දු මාධ්‍ය ජාලයකට අදහස් දක්වමින්, බෙහෙත් පැලැටි යොදාගනිමින් සදා ගතහැකි අත්‍ පවිත්‍කිරීමේ ර දියරයක් නිපදවා ගැනීමට යෝජනා කළේය .

කහ සහ සුවඳ සහිත බැසිල් කොළ ආදිය යොදා ගනිමින් සාදාගත් ආයුර්වේද රසායනයක් පරිභෝජනය කිරීම මගින් කොරෝනා වෛරසය වලක්වා ගැනීමට හැකි බව රාම්දේව් යෝගාචාර්යවරයා පවසා ඇත.

එහෙත් ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO ) සහ ව්‍යාධීන් වැළක්වීමේ සහ පිටුදැකීමේ ඇමෙරිකානු මධ්‍යස්ථානය (CDC) කියා සිටින්නේ මධ්‍යසාර මිශ්‍ර අත්‍ පවිත්‍ර කාරක දියර පාවිච්චි කරන ලෙසය.

”වොඩ්කාවලත් ඇතුලත් වන්නේ 40%ක මධ්‍යසාර ප්‍රමාණයක් වන අතර ගෙදොරදොරේ සාදාගන්නා අත්‍ පවිත්‍ර දියර වලින් සාර්ථක ප්‍රතිපලයක් නැතැයි” සනීපාරක්ෂාව සහ ඝර්ම කලාපීය වෛද්‍යවිද්‍යාව පිලිබඳ ලන්ඩන් විද්‍යාතනයේ මහාචාර්ය සැලී බ්ලූම්ෆීල්ඩ් (Prof Sally Bloomfield )පවසයි.

ශාක භක්‍ෂණවාදය

පසුගිය සතියේ ප්‍රකාශයක් කළ ‘හර්යානා’ ප්‍රාන්තයේ සෞඛ්‍යය ඇමති අනිල් විජ් මාංශ භාක්ෂනයෙන් වළකින ලෙස ඉල්ලීමක් කළේය.

“ශාක භක්ෂිකයකු වන්න!” ට්විටර් පණිවුඩයක් මගින් ඇමතිවරයා එම ඉල්ලීම කර තිබුණි.

“විවිධ සත්ව මාංශ භක්ෂණය කරමින් මානව වර්ගයාට කොරෝනා වෛරසය වැනි වෛරස් නිර්මාණය කිරීමෙන් වළකින්න,” එහි සඳහන් විය.

මේ අතරවාරයේ ප්‍රකාශයක් කළ හින්දු ජාතිකවාදී කණ්ඩායමක් කොරෝනා වෛරසය විග්‍රහ කරන ලද්දේ ”මාංශ භාක්ෂිකයන්ට එල්ල කරන ලද දඬුවමක්” හැටියටය.

ඉන් අනතුරුව නිවේදනයක් නිකුත් කළ ඉන්දියාවේ සත්ව නිෂ්පාදන අධීක්ෂණය කරන අමාත්‍යාංශය, ඉහත කී ප්‍රකාශන කුකුල්මස් සහ බිත්තර අලෙවිය පහත වැටීමට හේතු වූ බව කියා සිටියේය. එහෙත් ඉන්දීය ආණ්ඩුවේ තත්ත්ව පරීක්ෂණ සේවාව විසින් එම ප්‍රකාශනය නිෂ්ප්‍රභ කරනු ලැබීය.

bbc

”එවැනි ප්‍රවණතාවක් සම්බන්ධයෙන් සාක්ෂි නැතැයි ආණ්ඩුවේ ඇමතිවරයකු වන ගිරිරාජ් සිං (Giriraj Singh) ප්‍රකාශ කළේය.

වෛරස් නාශක ඇඳ මෙට්ට (ගුදිරි)

කොරෝනා වෛරස් වසංගතය ඇතැම් ව්‍යාපාරිකයන්ට ‘ඔවුන්ගේ නිෂ්පාදන එම වෛරසයට ඔරොත්තු දෙන බව පවසමින්’ මුදල් උපයා ගැනීමේ ජාවාරමකට මග පාදා ඇත.

උදාහරණයක් වශයෙන් වෛරසයට ඔරොත්තු දෙන ඇඳ මෙට්ට (ගුදිරි) විශේෂයක් පිළිබඳව වෙළෙඳ දැන්වීම් පළ කරනු ලැබ ඇත.

View image on Twitter

එම ගුදිරි ජාවාරමේ නිරත ‘අරිහන්ට් ගුදිරි (Arihant Mattresses) නිෂ්පාදන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ අමර් පරෙක් බීබීසියට ප්‍රකාශයක් කරමින්, සිය ගුදිරි පුස් නොබඳින එසේම දූවිලි සහ ජලයට ඔරොත්තු දෙන අතරම එමගින් කිසිදු ආසාදනයක් නොවන බව කියා සිටියේය. එබැවින් කිසිවකට එම ගුදිරි තුළට ඇතුල්විය නොහැකි බවත් ඔහු පවසයි.

එහෙත් ඔහු එම ගුදිරි සම්බන්ධයෙන් පළ කරන ලද වෙළෙඳ දැන්වීම දැන් ඉවත්කර ගෙන ඇත.

“කිසිවකුට හානියක් කරන්න මට අවශ්‍ය නැහැ,” අධ්‍යක්ෂ අමර් පරෙක් (Amar Parekh) පවසයි.

“නරක ප්‍රතිචාරයක් තියෙනවානම් අපට් ඒවා විකුණන්න අවශ්‍ය නැහැ.”

කොරෝනා වසංගතය හා සම්බන්ධ මිත්‍යා විශ්වාස මගින් සිදුවන හානිය ගැන ශ්‍රී ලාංකිකයින් දැනුවත් කළ යුතු නිසා බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියේ අද (24) දින පළ වූ මෙම ලිපිය සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලදි – සංස්කාරක