ලංකාවේ බොහෝ දෙනෙක් වැඩට යන්න එන්නේ පොදු මගී ප්‍රවාහන සේවයේය. එයද බස් සහ දුම්රිය ලෙස බෙදෙන අතර එයිනුත් දුම්රිය හරහා වැඩට යන එන අය බොහෝය. එසේ යන එන ඔබත් මමත් මේ කෝච්චිය තුළ විඳ ඇති අත්දැකීම් බොහෝය. ඉන් වැඩිපුරම සොරකම්ය. මේ සොරකම් නිසා කෝච්චිය තුළ අපහසුතාවයට ලක්වූවෝ බොහෝ වෙති.
මේ කතාව පටන් ගන්නට යන්නේ ලියුම්කරුට දුම්රියේදීම හමුවූ අයකු විසින් කී කතාවක් හරහාය. මේ කතාව අසන ඔබට යම් ආකාරයක සැකයක් ඇති විය හැක. ඒ සත්‍යද අසත්‍යද කියාය. ලියුම්කරුටද එය පළමු අවස්ථාවේ සිතිනි. එහෙත් මෙය සොයා බැලූ පසුව දැනගන්නට හැකිවූයේ එය සත්‍ය සිද්ධියක් කියාය.
මේ සිද්ධියේ කතානායකයා නුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු කොළඹ ප්‍රදේශයේ රැකියාව සිදුකළ අතර නැවතී සිටියේ කොළඹට නුදුරු ප්‍රදේශයකය. සතියට සැරයක් එනම් සිකුරාදා සවස ඔහු ගම රට බලා පිටත් වන්නේය.
ඒ අනුව එක් දිනක් ඔහු සවස නුවර කෝච්චියට ගොඩවුණේ ගමේ යාම සඳහාය. ඔහු කොළඹ දුම්රියපොළෙන් නැග අසුන්ගත් අතර ඒ අසල තරුණියක්ද සිටියාය. දුම්රිය ක්‍රම ක්‍රමයෙන් නුවර බලා ඇදෙන්නට විය. මඳදුරක් යමින් සිටියදී අසල සිටි තරුණිය ඉංග්‍රීසි මුසු සිංහලෙන් තරුණයාව ඇමතුවේය. “අයියා මේ ට්‍රේන් එක ලේට්ද” තරුණයා නැත යනුවෙන් පිළිතුරු දුන්නේය. තවත් මඳ දුරක් ගියපසු එම තරුණිය “අයියා මේ ට්‍රේන් එක යනකොට ගොඩක් රෑ වෙනවද?” එම තරුණියගේ හැසිරීම තේරුම් ගත් තරුණයා විමසුවේ “මීට කලින් මේ කෝච්චියේ ගොස් නැති”දැයි විමසුවේය. තරුණිය ඔන්න කතාව කියන්නට පටන් ගත්තාය. “නෑ අයියා. මම නුවර යන්නේ තනියම පළවෙනි වතාව. අපේ ලොකු අම්මලගේ ගෙදර. අයියා එනවා කිව්වා ස්ටේෂමට. මට ටිකක් බයයි. දන්නෙත් නෑනේ. කළුවරත් එක්ක. ඒකයි අයියගෙන් ඇහුවේ…”
ඈ එලෙස කතා කරනවිටත් හැඟුම්බරවී සිටියේය. මේ කතාව අසා සිටි තරුණයා කීවේ තමනුත් නුවර යන නිසා බය නොවී සිටින ලෙසය. මඳදුරක් ගිය පසු තරුණයා රාත්‍රී ආහාරයට ගත් බනිස් ගෙඩියක්ද ඇයට දුන්නේය. ඇය බෑ බෑ කියමින් එය අතට ගෙන කෑවේය. තැනින් තැන නවත්වමින් යන කෝච්චිය මේ දෙදෙනා තව තවත් ළං කරන්නට සමත් විය. කඩුගන්නාව කන්ද නගින විට දෙදෙනා ඇමතුවේ දෙදෙනාගේ නම් වලිනි. ඒ තරම් සමීප වී සිටියේය. එපමණක් නොව නැවත හමුවීමටද දෙදෙනා තීරණය කළෝය. පේරාදෙණිය ළං වනවිට තරමක ආදරයක්ද තරුණයාට තරුණිය කෙරෙහි හටගෙන තිබුණේය.
නුවරට ළං වනවිට ඇගෙන් දුරකථන අංකයද ඉල්ලා ගත් තරුණයා ඈ කෙරෙහි විශ්වාසය තබා ගත්තේය. දෙදෙනාම නුවරින් බැසගත් අතර දුම්රියපොළ ඉදිරිපිටට පැමිණි පසු තරුණිය තරුණයාගෙන් ඇසුවේ අයියා එනතෙක් සිටිනවාද යන්නය. ඊට එකඟවුණු තරුණයා ඈත් සමඟ එහි රැඳී සිටියේය.
මඳ වෙලාවක් ගිය පසු තරුණිය අයියාට කියා ඇමතුමක් ලබාගත් අතර ඈ දුරකථනය කනේ තබා ගනිමින්ම තව පැයක් යනවද කියා ඇසුවේය. ඒ තරුණයා දෙස බලාය. අවසානයේ පැයක් සිටින්නට සිදුවන නිසා තරුණයාට ඒ බැව් දැන්වීය. මේ අතර තරුණිය විසින් අපි වැව රවුමට යමුදැයි ඇසුවාය. තරුණයා එයට එකඟ වූ අතර ඒත් සමඟ ඔවුන් අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක් කැඳවා එයට තරුණිය හදිසියේ ගොඩ විය. මඳ දුරක් යනවාත් සමඟ තරැණිය බෑගය ඇද්දේය. එහි තිබූ වතුර බෝතලය දැක “අයියෝ මට අමතක වුණානේ අම්මා හදලා දුන්න දෙහි එක බොන්න” යැයි ඇය කීවාය.
එසේ කියමින් ඈ එහි මූඩිය ඇර “ආ ඔයා බොන්න” යැයි කියා දිගු කළේය. ඇයට බෑ කීමට නොහැකි නිසා ඔහු උගුරු දෙකක් කටේ හලා ගත්තේය. ඉන්පසුව ඈ බෝතලේ ගෙන “ඉන්න මම අයියට කියන්නම් නුවර වැව ගාවට එන්න කියලා” යැයි කියමින් ඈ ඇමතුම ගනිමින් බෝතලේ මූඩිය වසා දැමුවේය. ඒ වනවිටත් වැව රවුම අසලට පැමිණි සිටි දෙදෙනා ත්‍රීරෝද රථයෙන් බැස ගත්තේය. ඔවුන් ඇවිද ගොස් සිමෙන්ති බංකුවක වාඩිවිය. එහෙත් තරුණයට විනාඩි කිහිපයක් යනවිට කරකැවිල්ලක් එන්නට විය. ඔහු එම තරුණියට ඒ බව කියනවා මතක තිබුණේය.
ඇඟේ තෙහෙට්ටුවක් සමඟ තරුණයා ඇස් අරින විට සිටියේ රෝහලක සයනයේය. ඔහු සමීපයේ සිටි තරුණියද නැත. ඒ වෙනුවට වෙනත් අයෙක් ඇත. බියවූ තරුණයා මේ ගැන විමසුවේය. එවිට එහි සිටි පුද්ගලයා කීවේ මඟ වැටී සිට දැක රැගෙන ආ බවය. කෙසේ වෙතත් මේ සිද්ධිය පුදුම සහගත බව තරුණයාට සිතුණේය. එහෙත් කරුමය නම් ඒ වනවිටත් ඔහු අතේ වූ බ්‍රේස්ලට් එක, පවුම් තුනක රත්තරන් මාලය, මුද්දක් හා මුදල් පසුම්බිය නැති වී තිබීමය. හැමතැනම බැලුවත් ඒ කිසිවක් තිබුණේ නැත. ඒ අනුව මඟ හමූවී හඳුනාගත් තරුණිය මෙය සිදුකර ඇති බව ඔහු දැන ගත්තේය.
අවසානයේ තරුණයා පොලීසියට පැමිණිල්ලක් දැමූ අතර පොලීසිද කීවේ අපූරු දෙයකි. එනම් මෙවැනි පැමිණිලි නිතර ලැබෙන බවය. මෙය සංවිධානාත්මක කල්ලියක් විසින් සිදුකරන බවද කියවිණි. කෙසේ වෙතත් මෙවැනි සිද්ධි නිතර දුම්රිය තුළ සිදුවන බවත් එහෙත් ඒ සැමදේම පොලීසියට වාර්තා නොවන බවත් සඳහන් වේ. හේතුව ඇතැම් අවස්ථාවල කාන්තාවන් තරුණයන් රැගෙන කාමරවලට ගොස් සිදුකළ කොල්ලකෑම් නිසාය. ඒ නිසා එවැනි සිදුවීම් පොලීසියට වාර්තා වෙන්නේ ඇත. මේ අතර පිරිමින්ද කාන්තාවන් රවටා කොල්ලකෑම් සිදුකරන බව සඳහන් වේ. හොඳට ඇඳ පැළඳ එන ඔවුන් රටේ ඉහළ තැන්වල රැකියා කරන බවත් නිවාඩුවට ගමේ යන බවත් පවසා මිතුරු වී දුරකථන අංක ලබා ගනිමින් කාන්තාවන් කොල්ලකෑම් සිදුකරන බව වාර්තා වේ.
කෙසේ වෙතත් දැනට ලැබී තිබෙන තොරතුරු අනුව මොවුන් වැඩිපුරම සැරිසරන්නේ දුර ගමන් සේවා දුම්රිය තුළය. ඒ අදාළ පුද්ගලයන් ගැට ගසා ගැනීම සඳහා කාලය ලබා ගැනීමටය. එසේම ඔවුන් එලෙස දුම්රියේ යනවිට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා කණ්ඩායමේ තවත් දෙදෙනකු එම කෝච්චි පෙට්ටියේ ගමන් කරන බව සඳහන්ය. ඒ උන්ගේ ආරක්ෂව සඳහාය. ඇතැම් අවස්ථාවල අදාළ කොල්ලය සැලසුම පරිදි සිදු නොවුණහොත් පිහියක් පෙන්නා හෝ එය සිදුකිරීමට ඔවුන් පෙළඹී සිටිති. එයට හේතු වී ඇත්තේ මෙහි ඉන්නා පුද්ගලයන් බොහෝදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසාය. මේ නිසා කෙසේ හෝ මුදල් සොයා ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇත. ඒ නිසාම අතේ පයේ දේ සූරගෙන යාමට ඔවුන් පෙළඹී ඇත.
කෙසේ වෙතත් හැමෝටම සිහි නැතිවෙන්න බොන්න දෙන්නේ නැත. ඇතැම් අය ආහාරයකට දමා දෙති. ඒ නිසා විවිධ ක්‍රම භාවිතාකොට සිහි නැතිකිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත.
පොකට් ගසන උන්, චේන් කඩන උන්ට වඩා ඉතා සූක්ෂමව සිදුකෙරෙන මෙම කොල්ල කෑම් නිසා බොහෝ දෙනෙක් අසරණ වෙති. නීතියේ පිහිට පැතීම අත්හරිති. ඒ ලජ්ජාව නිසාය. මේ හේතුවෙන් හොරුන් සදාකල් දිනනු ඇත. ඒ නිසා දුම්රියේ ගමන් ගන්නා මගීන් ලෙස මීට වඩා අවධානයෙන් සැලකිලිමත් ලෙස හැසිරිය යුතු බව සිහි කිරීමට කැමැත්තෙමු. පොලීසියටවත් පැමිණිලි නැති මේ අපරාධකරැවන් අත්අඩංගුවට ගැනීම අසීරුවන්නේ වෙන කිසිදෙයක් නිසා නොව ඔබේ අඩුපාඩු නිසාය. ඒ නිසා දුම්රියේ හමුවන ප්‍රේමකුරුල්ලන් කිරිල්ලියන් ඔබේ දේපලට අත තබනා තවත් වෙනස් ආකාරයේ මංකොල්ලකරැවන් පිරිසක් බව අමතක නොකරන්න.
[rns_reactions]