රුපියල් හාර කෝටි අසූ ලක්‌ෂයක් (4,80,00,000) වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යැමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගියකු සහ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු 13 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මෙහි ඉන්දීය ජාතික ගුවන් මගියා 40 හැවිරිදිය . අනෙක් ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනා, 40 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ සහ 45 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මොවුන් 13 දින අලුයම 1.55 ට පමණ සිංගප්පූරුව බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-306 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .
ඔවුන් විසින් ඇමෙරිකානු ඩොලර් 52,950 ක්, යූරෝ 1,53,250 ක් , සෞදි රියාල් 2,64,000 ක් සහ කටාර් රියාල් 18,500 ක් නීතිවිරෝධී ලෙස රැගෙන යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
රේගු අධිකාරි ඒ. එම්. ඡේම්ස්, සහකාර රේගු අධිකාරීවරුන් වන ටී. ඒ. ගුණසේකර, ඩී.රෙංගරාඡ් , එම්.එස්. මාසකෝරාල, එස්. සමරසේකර යන මහත්වරුන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.
ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්‌ෂ ජනරාල් රංජිත් ළමාහේවා මහතාගේ උපදෙස් පරිදි, කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්‌ෂ ඕ.එම්. ජාබීර් මහතාගේ අධීක්‌ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්‌ෂ ඕ.ඡේ.ඔබේසේකර මහතා ඇතුළු රේගු නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව පරීක්‌ෂණ පවත්වති.
