රෝනාවෛරස් වසංගතය පැතිරී යාමත් සමග ගර්භණී මව්වරුන් සහ මෑතකදී දරුවන් බිහි කළ මව්වරුන් මුහුණ දෙන විවිධ ගැටලු ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දැනගැනීමට ලැබිණි.
තමන්ට සහ දරුවාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වේ දැයි ඇති වන බිය මෙන්ම පෙර පරිදි සෞඛ්‍ය සේවාවලට හෝ සායනවලට යෑමට නොහැකි වේ යැයි බොහෝ දෙනෙකු තුළ අවිනිශ්චිත බවක් පැන නැගී තිබේ.
ශ්‍රී ලාංකික ගැබිණි මව්වරුන් හතර දෙනෙකු ඉදිරිපත් කළ ගැටලු පිළිබඳ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න සහ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මධුභාෂිණී දයාබණ්ඩාර බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය.
ගැබිණි කාන්තාවන්ට මෙම වෛරසය වැළඳීමේ ‘දැඩි අවදානමක්’ තිබේද?
“මේ වෛරසය නිසා මම සෑහෙන බයකින් ඉන්නේ. මම මාස හතක ගැබිණියක්. මට මේ ලෙඩේ හැදුනොත් සාමාන්‍ය කෙනෙකුට වඩා අමාරු වේ දැයි හිතෙනවා. ඒ බලපෑම දරුවාට ඇති වෙයි කියලා බයකුත් තියෙනවා. මේ දේවල් නිසා මම මානසිකව කඩා වැටෙන අවස්ථාත් බොහොමයි,” නීතිවේදිනියක ලෙස සේවයේ නිරත දයක්ෂි පෙරේරා පැවසීය.
ගර්භණී කාන්තාවන් දැඩි අවදානමක සිටින කණ්ඩායමක් බවට තවමත් සාක්ෂි නොමැත. අන් අය සේම ඔවුන් ද වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීමට පියවර ගත යුතුය.
“ගර්භණී තත්ත්වයේ සිටියදී රෝගය වැළඳුණහොත්, අන් අයට වඩා වෙනස් රෝග ලක්ෂණ පෙන්නු කරන්නේ හෝ වෙනත් බරපතල තත්ත්වයකට පත් වෙන්නේ නැහැ. ඒ අයගේ සෞඛ්‍ය නිතර පරීක්ෂාවට ලක් වන නිසා සහ ගැබිණි මව්වරුන් සාමාන්‍යයෙන් සිය සෞඛ්‍ය ගැන වැඩි සැලකිල්ලක් දක්වන නිසා වෛරසය ආසාදනය වීමේ ඉඩකඩ අඩුයි,” වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසුවේය.
වෙනත් පුද්ගලයන් සේම ඔවුන් ද නිවැරදි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කරමින් ආරක්ෂා විය යුතු බව වෛද්‍යවරයා පැවසීය.
නිතර ම දෙඅත් සබන් ගා හොඳින් සෝදා ගත යුතු අතර, මෙය පොදු ස්ථානයක ගැවසීමෙන් පසු අනිවාර්යයෙන් සිදු කළ යුතුය.
- දෙඅත් පිරිසිදු කර ගැනීමට වෙනත් ආදේශක ද්‍රාවණයක් (hand gel) වුව ද භාවිත කළ හැකිය.
- කැස්ස සහ කිවිසුම් යාමේදී මුඛය සහ නාසය ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියකින් ආවරණය කර ගත යුතුය.
- භාවිතයෙන් පසු ටිෂූ කඩදාසිය ක්‍රමානුකූලව ඉවත දැමිය යුතුය.
- ටිෂූ කඩදාසි නොමැති අවස්ථාවක වැළමිට නවා අතේ උඩ කොටසෙන් මුහුණ ආවරණය කර කැස්ස හෝ කිවිසුම් යැවීම සිදු කළ යුතුය.
- නොසේදූ අත්වලින් මුහුණ ස්පර්ශ නොකළ යුතුය.
- ආසාදිතයින් සමීපයට යාමෙන් වැළකී සිටිය යුතු අතර, පොදු ස්ථානවල නිකරුණේ ගැවසීමෙන් වැලකී සිටිය යුතුය.
- මස් සහ බිත්තර හොඳින් පිස ආහාරයට ගැනීම සිදු කළ යුතුය.
- වන සතුන්ගෙන් මෙන් ම ගොවිපොළවල සේවය කරන්නේ නම් රෝගී සත්ත්වයන්ගෙන් ඈත් වී සිටිය යුතුය.
- මියගිය සතුන් පරිභෝජනයට නොගත යුතුය.
ගැබිණි මවගෙන් දරුවාට වෛරසය ආසාදනය විය හැකිද?
දැනට වාර්තා වී ඇති රෝගීන් අනුව මවගෙන් දරුවාට මෙම වෛරසය ආසාදනය වන්නේ දැයි ප්‍රත්‍යක්ෂව කිව නොහැකිය. චීනය සහ එක්සත් රාජධානියේ අලුත බිහි වූ දරුවන් දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබුණු අතර, ඔවුන්ගේ මව්වරුන්ට මෙය ගර්භණී කාලය ඇතුළත වැළදී තිබිණි.
නමුත්, ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වැළඳුනු මවක් බිහි කළ දරුවාට මේ වනතෙක් එය ආසාදනය වී නොමැත.
“දැනට තිබෙන සාක්ෂි අනුව අම්මාගෙන් බබාට මේ වෛරසය ආසාදනය වෙනවා කියන එක නිශ්චිත වශයෙන් කියන්න බැහැ,” වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසීය.
කොරෝනාවෛරසය ආසාදනය වූ මවකට දරු ප්‍රසූතියේ දී සංකූලතා ඇති විය හැකි ද?
මෙය නව වෛරසයක් හේතුවෙන් එය ආසාදනය වූ මවකට දරු ප්‍රසූතියේදී ඇති විය හැකි සංකූලතා ගැන 100%ක් තහවුරු වී නොමැති බව වෛද්‍යවරයා පැවසීය.
“වෛරසයේ බලපෑමෙන් ගබ්සා වීම් සිදු වී නැහැ. දරු ප්‍රසූතියේ සංකූලතා ගැන තවමත් සාක්ෂි ඉදිරිපත් වී නැහැ.”
ගැබිණි මව්වරුන්ට පෙර පරිදි සිය සායනවලට සහභාගී විය හැකි ද?
ගර්භණී මව්වරුන්ට ලබා දෙන කාඩ් පත රැගෙන ඇඳිරි නීතිය පවතින කාලය ඇතුළත පවා අදාළ මාතෘ සායනවලට සහභාගී වීමේ ඉඩකඩ ඇත.
“සායනවලට එනකොට කාඩ්පත අනිවාර්යයෙන් රැගෙන එන්න. හැබැයි ඊළඟට තිබෙන සායනයට ගන්නා දිනය හැකි තාක් පස්සට දාගන්න මේ ඇඳිරි නීතිය අවසන් වෙනතාක් වත්,” වෛද්‍යවරයා පැවසීය.
“නමුත් නියමිත කාලයේදී නිර්දේශ කරන ස්කෑන්වලට පැමිණිය යුතුයි. ඊට අමතරව යම් උපදෙසක් අවශ්‍ය නම් වෛද්‍යවරයා හා දුරකතනයෙන් හෝ වෙනත් අන්තර්ජාල පහසුකමක් හරහා සම්බන්ධ වෙන්න,”
මෙම කාලය තුළ ගර්භණී මවක් අනුගමනය කළ යුතු විශේෂ ක්‍රියාවලියක් තිබේ ද?
- රෝහලට යන විට මුහුණු ආවරණයක් නිවැරදි ලෙස පැළඳීම අත්‍යවශ්‍යය.
- පුද්ගලයන් අතර මීටර දෙකක දුරක් පවත්වා ගත යුතුය.
- රැකියාවේ නිරතවන මවක් නම්, හැකිනම් නිවසේ සිට සිය රාජකාරියේ යෙදිය යුතුය.
උණුවතුර නිතර බීමට ගැනීම සහ පැය හතරකට වරක් හුමාලය ආශ්වාස කිරීමෙන් සාමාන්‍ය කොරෝනාවෛරසවලින් වැළකී සිටිය හැකිය. නමුත් මෙම නව කොරෝනාවෛරසය එවැනි ක්‍රම අනුගමනය කිරීමෙන් වළක්වා ගත හැකි දැයි තවමත් ප්‍රත්‍යක්ෂ වී නොමැති බව වෛද්‍යවරයා පැවසීය.
වසංගත තත්ත්වය හේතුවෙන් දරු ප්‍රසූතිය කල් දැමිය යුතුද?
“කලින් සැලසුම් කළ දරු ප්‍රසූතිය මෙම තත්ත්වය නිසා කල් දැමිය යුතු නැහැ. කොරෝනාවෛරසය ආසාදනය වූ මවක් නම් පමණයි දරු ප්‍රසූති ක්‍රියාවලිය වෙනස් වෙන්නේ” යැයි වෛද්‍යවරයා පැවසීය.
ගර්භණී මවකට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට සැකයක් ඇත්නම් කුමක් කළ යුතුද?
කැස්සක් සහ උගුරේ ආසාදන තත්ත්වයක් ඇති වුවහොත් තම වෛද්‍යවරයාට දුරකතන මාර්ගයෙන් දැනුම් දිය යුතු අතර, හුස්ම ගැනීමේ අපහසුතා තිබේනම් වහාම රෝහලක් වෙත යා යුතුය.
“කොරෝනාවෛරසය ආසාදනය වී ඇති මව්වරුන්ට රජයේ රෝහල් දෙකක් වෙන් කර තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා නාරි සහ ප්‍රසව වෛද්‍යවරුන්ගේ සංගමයේ නිර්දේශ අනුව, යම් මවකට කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් සංකූලතා ඇත්නම් වහාම ළඟම තිබෙන රෝහල වෙත යන්න පුළුවන්,” වෛද්‍යවරයා පැවසීය.
ගර්භණී මවකට තිබෙන වෙනත් රෝගාබාධවලට ප්‍රතිකාර ලබා ගත හැකි ද?
දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝගාබාධ ඇති ගර්භණී මවක් නම් එම රෝගවලට අවශ්‍ය ප්‍රතිකාර අනිවාර්යයෙන් ලබා ගත යුතු වේ.
“එවැනි රෝගවලට හරියට ප්‍රතිකාර නොගතහොත් ඇතිවන සංකූලතා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවන සංකූලතාවලට වඩා වැඩියි,” වෛද්‍යවරයා පැවසීය.
කොරෝනාවෛරසය ආසාදනය වූ මවක් දරුවාට මව්කිරි දීම සුදුසුද?
මව්කිරිවලින් කොරෝනාවෛරසය ආසාදනය නොවන නමුත්, දරුවා අසළ සිටීමෙන් වෛරසය දරුවාට ආසාදනය විය හැකිය. මෙය වළක්වා ගැනීම සඳහා හොඳින් පිරිසිදු වී, මුහුණු ආවරණයක් පැළඳ දරුවාට මව්කිරි දීම කළ යුතු බව වෛද්‍යවරයා පැවසීය.
කෙතරම් කාලයක් දරුවා නිවසේ රඳවා ගත යුතුද?
“මට අවුරුදු දෙකක දුවෙකුත් ඉන්නවා. මගේ පුතා ලැබුනේ මාර්තු 4 වෙනිදා. ඊට පහුවෙනිදා අපි ගෙදර ආවා. ඒ දවසේ ඉඳන් අපි කොහේවත්ම ගියේ නැහැ. මගේ පුතාත් දුවත් ගැන තමා බය. එළියට යන්න නැහැ, ගෙදරටම හිර වෙලා. ආයෙත් කවදා යන්න හැකි වෙයි ද දන්නේ නැහැ. දවසින් දවස ඇහෙන මරණ ගණන දකින කොට ගොඩක් බයක් දැනෙනවා. දරුවන්ගේ අනාගතය ගැන ගොඩක් බයයි,” චමෝදි ගාඩිනර් පැවසුවාය.
අලුත උපන් බිළිඳෙකු සාමාන්‍යයෙන් සති හයක කාලයක් නිවසේ රඳවා තබා ගැනීමට ලැබෙන උපදෙස්වලට අමතරව, ඇතිවී තිබෙන තත්ත්වය අනුව වැඩි කාලයක් නිවසේ රඳවා ගැනීමට සිදු වනු ඇතැයි වෛද්‍යවරයා තවදුරටත් පැවසුවේය.
පවතින තත්ත්වය දරුවෙකු ප්‍රසූත කළ මවකගේ මානසික සෞඛ්‍යට බලපාන්නේ කෙසේ ද?
“මම පෙබරවාරි මස දරුවා බිහි කළා. දරුවාගේ අනාගතය ගැන මට දැනෙන්නේ අනියත බියක්. මට තව ලොකු දරුවෝ ඉන්නවා. ඔවුන්ට කවදා ආයෙත් පාසල් යන්න හැකිවේවිද? කවදා අයෙත් එලිපහලියේ බයක් නැතිව සෙල්ලම් කරන්න ලැබෙයිද කියලා හිතෙනවා. දිනපතා ඇසෙන්නට ලැබෙන දේවල් නිසා දරාගැනීමේ ශක්තිය හීනවී ගොසින්ද කියාත්, මානසික ආතතියක් ඇතිවී ඇත්දැයි සිතෙන අවස්ථාත් නැතුවාම නොවෙයි. දරුවන් සමග ඇතිවී තිබෙන තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේදැයි සිතෙන වාර අනන්තයි,” දිනේන්ද්‍රා සෙනෙවිරත්න පැවසුවාය.
“කෙසේනමුත් එක්තරා අකාරයකට මුළු පවුලම එකට හිද එකිනෙකා තෙරුම් ගැනීමේ අවස්ථාවක් මේ තත්ත්වය නිසා ඇති වුණා. හැල්මේ දුවපු අපිට නැවතිලා අපේ ජිවිත ගැන ආපහු හැරිලා බලන්න අවස්ථාවක් ලැබිලා තිබෙනවා,” යැයි දිනේන්ද්‍රා තවදුරටත් පැවසුවාය.
ඇඳිරි නීතිය පවතින මෙවැනි අවස්ථාවක වෙනත් අය සේම මව්වරුන් ද සිය මානසික සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා හැකිතාක් විවිධ කටයුතුවල නිරත විය යුතු බව විශේෂඥ මනෝ වෛද්‍ය මධුභාෂිණී දයාබණ්ඩාර පැවසීය.
- ඔබට හොඳ හැඟීමක් ඇති නොවන දේවල් කියවීමට හෝ නැරඹීමට වැය කරන කාලය සීමා කරන්න.
- අන් අය සමග සම්බන්ධ වීම සඳහා සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන්න, නමුත් කොරෝනාවෛරසය ගැන කියවීම සීමා කරන්න.
- දරුවන් සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
- සිය සැමියා, භාර්යාව, දෙමාපියන් හෝ පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
- ආතතිය, පීඩනය අවම කර ගැනීම සඳහා හාස්‍ය උත්පාදක දේ කියවන්න, නරඹන්න.තමන්ට කාලයක සිට මඟ හැරුණු දෙයකට නැවත යොමු වෙන්න.
- පොත් කියවීම්, අත්කම්, මැහුම් ගෙතුම්, ගෙවතු වගාව වැනි දේට යොමුවන්න.
- එකිනෙකා අතර නියමිත පරතරය තබාගෙන, නිවසින් පිටත, නිවස තුළ හෝ ගෙමිදුලේ ව්‍යායාම්වල නිරත වන්න. මෙමගින් මොළය තුළ රසායන ද්‍රව්‍යයක් වර්ධනය වන අතර, එය මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාමට බලපායි.
- සංගීතයට සවන්දෙන්න. ගායනය, වාදනය, නර්තනය සහ චිත්‍ර සඳහා යොමු වන්න.
- බොහෝ කලකින් කතා නොකළ මිතුරෙකුට දුරකතන ඇමතුමක් දෙන්න.
- වැරදි පුවත් නොබලා, වගකිව යුතු මාධ්‍ය ආයතනවල පුවත් පමණක් නරඹන්න, කියවන්න.
- හැකි සෑම විට ම සමබර ආහාර වේලක් ලබා ගන්න.
- අන් අයට පිහිට වන්න.
වසංගත තත්ත්වය ගර්භණී මවකගේ මානසික සෞඛ්‍යට බලපාන්නේ කෙසේ ද?
පූර්ව ප්‍රසව අවධියේ දී මව මානසික ආතතියට ලක්වීමෙන්, එයින් දරුවා තුළ චර්යාත්මක ගැටලු සහ චිත්තවේගයන්හි ගැටලු පැන නැඟිය හැකිය.
“මානසික සංකූලතා ඇති වීම දරුවාගේ වර්ධනයට බලපාන්න පුළුවන්. කෙසේනමුත් පෙර සිටම මානසික රෝගයක් තිබුණ කෙනෙකු නම් එය මෙම පවතින තත්ත්වයත් සමග වැඩි වීමේ දැඩි අවදානමක් තිබෙනවා. ඒ අය සිය පවුල් සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කර නිසි ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි” යැයි වෛද්‍යවරිය පැවසීය.
ගර්භණී මවක් සිය මානසික සුවය පවත්වා ගැනීමට විවිධ ක්‍රියාවලට යොමු විය හැකිය:
- තමන්ගේ සහ දරුවාගේ පෝෂණය ගැන සිත යොමු කර ගුණදායී ආහාර වේලක් ලබා ගැනීම.
- එක් ස්ථානයක් නොසිට, විවිධ ව්‍යායාමවල නිරත වීම.
- නිවසේ අය සමග සතුටු සාමිචියේ යෙදීම.
- වගකිව යුතු මාධ්‍යයක පුවත් පමණක් නැරඹීම.
- දරු ප්‍රසූතියට සූදානම් වීම.
- සාමාන්‍ය දිනචර්යාවේ යෙදීම.
“මම මාස හයක ගැබිණියක්. බබා හම්බ වෙන්ට කල් තිබුනත් මාස 5 පැන්න ගමන් එයාට අවශ්‍ය දේවල් ටික ටික එකතු කර ගත්තා. මොකද අන්තිම මාසවල දී ගොඩක් මහන්සි වෙන්ට බැරි නිසා. මේ දේවල් හිතට අපහසු වුණත්, අපි ජීවිතේ ඉදිරියට ගෙනි යනවා,” මිහින්තලා ගමගේ පැවසුවාය.
කෙසේවෙතත්, වෛද්‍ය මධුභාෂිණී දයාබණ්ඩාර පෙන්වා දෙන්නේ “නිවසේ අන් අය ද ආරක්ෂා වන අතරම, ඔවුන් ගර්භණී මවට ද සහයෝගය ලබා දිය යුතුයි. පවුල් සබදතා වැඩි දියුණු කරගෙන, මත්පැන්, සිගරට්වලින් ඈත් වී සිටිය යුතුයි” යනුවෙනි.
කාලීනභාවය සහ නිවැරදි තොරතුරු පිළිබදව පවතින දැඩි අවශ්‍යතාව සලකා බී.බී.සී සන්දේශය මගින් මෙම ලිපිය හා ඡයාරූප සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලද ප්‍රධාන ඡායාරූපය සහ ශීර්ෂපාඨය පමණක් වෙනස් කරන ලදි – ප්‍රධාන සංස්කාරක