චතුරිකා-ගයාන්-රොෂාන්, තුන්කොන් ආදරය පිළිබඳව චතුරිකා මුල්වරට කී කථාව.

Spread the love

පසුගිය මාස කිහිපය තුල චතුරිකා-ගයාන්-රොෂාන්, තුන්කොන් ආදර කතාව පිළිබඳව නොයෙක් කටකථා පතුරවන මොහොතක එම ක්‍රියාවලිය සාධාරනයකට ලක් කරමින්  ප්‍රථම වරට චතුරිකා සති අන්ත පුවත්පතකට තම අදහස් දක්වා තිබෙනවා.

චතුරිකා ගයාන්ව දැන හඳුනා ගන්නෙ?

මට පළමු වතාවට ගයාන්ව හමුවෙන්නෙ 2004 අවුරුද්දෙ. ඔහු ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක්‌ රඟපාන ප්‍රථම අවස්‌ථාව එයයි.

එහි ප්‍රධාන කාන්තා චරිතය රඟපෑවෙ මම. එදා මම දැක්‌ක ගයාන් දෙමවුපිය හෙවනින් ආපු බොහොම තැන්පත් තරුණයෙක්‌ .

ඒ අවස්‌ථාවද ප්‍රේමයේ ඇරඹුම?

නැහැ. ඒ වෙත්දි ගයාන් කියන්නෙ මාත් එක්‌ක රඟපාපු තවත් නළුවෙක්‌ විතරයි. එකට වැඩ කළ නිසා සුහදතාවක්‌ ගොඩනැගුණා එතනින් එහාට කිසිවක්‌ වුණේ නැහැ. අපි ආයෙ මුණගැහුණෙවත් කතා කළේවත් නැහැ.

දෙවැනි වතාවට මට ආයෙමත් ගයාන් එක්‌ක වැඩ කරන්න ලැබෙන්නෙ අවුරුදු හතකට පස්‌සෙ ඒ කියන්නෙ 2011 අවුරුද්දෙ. ඒ වෙත්දි ගයාන් ක්‌ෂේත්‍රයෙ නමක්‌ දිනාගත්ත කෙනෙක්‌. නමුත් අර මම පළමු අවස්‌ථාවෙ දුටුව සන්සුන් තරුණයා නම් ඔහු අහලකවත් හිටියෙ නැහැ. ඒ වෙත්දි ගයාන්ව ප්‍රසිද්ධ වෙලා තිබුණෙ වැඩ කරන්න අපහසු ඉවසීමක්‌ නැති කේන්ති යන දඩබ්බර චරිතයක්‌ විදිහට.

දඩබ්බර හිත ළඟද ආදර කතාව ඇරඹෙන්නෙ

ඇත්තටම ඒ වෙත්දි ගයාන් ළඟ හිතුවක්‌කාර කේන්ති යන ලක්‌ෂණ තිබුණා. ඒ දවස්‌වල ගයාන් මෝටර් රථය පදවාගෙන යන වේගය නිසා අපි කතාවුණේ කොයි වෙලාවක හරි අනතුරක්‌ කරගනියි කියලා. ඒ තරමට නොසන්සුන්තාවයකින් ඉන්න කෙනෙක්‌ විදිහටයි මමත් ගයාන්ව දැක්‌කෙ. නමුත් ගයාන්ව හිතවතෙක්‌ විදිහට ආශ්‍රය කරත්දි ඒ ගයාන් කියන කෙනාගෙ ආවේණික ගතිගුණ නෙමෙයි කියල මට දැනුණ. දෙමවුපිය සහෝදර හෙවනින් වෙන්වෙලා කොළඹ ආපු ගයාන්ව කොළඹදී ඔහුට ළංවූ අය නිසා වියවුල් වූ ජීවිතයක ඒ වෙත්දි ගයාන් ගත කරමින් හිටියෙ.

ඔබ දෙදෙනා වඩාත් ළං කළ හැඟීම වන්නෙ

දෙවෙනි වතාවට අපි හමුවුණ කාලය වෙත්දි අපි දෙන්නම අපේ පුද්ගලික ජීවිතවල විශාල අර්බුද සමඟ ගෙවූ කාල වකවානුවක්‌. එයා හිටියෙ බිඳුන විවාහයක නටබුන් එක්‌ක මමත් මගේ ප්‍රේමය බිඳී ගිහින් තනිවෙලා හිටි කාලයක්‌ මුලින්ම අපි හිතවතුන් වුණා අපේ ප්‍රශ්න ගැන කතා කළා. ඒ අවස්‌ථාවෙ අපේ ජීවිතය කලින් හිටිය අය වගේම අප වටා හිටි අය බොහොම දරුණු විදිහට අපි දෙන්නට පහර දෙන්න පටන් ගත්ත. ඒ අවස්‌ථාවේ ගයාන් නොසැලී හිටිය මමත් ඒ දේවල්වලට සැලුනෙ නැහැ. අපි මේ ප්‍රශ්න ගැන කතා කරමින් විසඳුම් හොයන්න උත්සාහ කළා. අන්තිමට අපිටත් නොදැනීම අපි දෙන්න ආදරයෙන් බැඳුණා.

එදා ඔබ දෙදෙනාගේ ආදරයට ඇතිවුණ බාධක ද ඔබලා වඩාත් ළං කළේ.

ඒ ගැන හිතත්දි කනගාටුයි. මිනිස්‌සු අපිට හිතාගන්න බැරි තරම් නරක විදිහට ප්‍රශ්න ඇති කළා. නමුත් මම ගයාන්ට ආදරය කරන්න පටන් ගන්නකොට එයා හුදකලාව හිටි කෙනෙක්‌ කාගෙවත් හෙවනක හිටිය කෙනෙකුට මම පෙම් කළේ නැහැ. තමන්ගෙ කලින් පෙම්වතා හා පෙම්වතිය එම ප්‍රේමයෙන් මිදුනට පස්‌සෙ තවත් කෙනකුට ආදරය කරන අවස්‌ථාවෙ ඔහුට හෝ ඇයට පෙම්වතෙක්‌ හෝ පෙම්වතියක්‌ හමු නොවුණ නිසා තමන්ගෙ පෙර කාලයෙ පෙම් කළ අයට ඊර්ෂ්‍යා කරල ප්‍රශ්න ඇතිකරන එකේ ඵලක්‌ නැහැ. නමුත් ඔවුන් එහෙම කළා.

මම හැමදාම හිතුවෙ කවදා හරි ඇත්ත ඉදිරියට එන බවයි. අපි කාට හෝ වැරැද්දක්‌ කළාම ඒක ලෝකෙට වසන් කරගෙන හිටියට තමන්ගෙ හිතට බොරු කරන්න බැහැ. මම මේ පුද්ගලයට මේ වගේ දෙයක්‌ කළා නෙ කියල තමන්ගෙ හිත තැවෙනව.

දැන් ආදර ලෝකය සන්සුන්ද?

ඇත්තටම මේ හැම දෙයක්‌ම කෙළවර අපි දෙන්න අතර තිබුණ ආදරය තවත් වැඩි වුණා. හැම ප්‍රශ්නයකටම කාලය විසඳුම් දීල තියෙනව. එළඹෙන මැයි මාසෙ අපේ විවාහය සිද්ධ වෙනව.

චතුරිකා අතීතයෙ ඔබට හමුවුණ දඩබ්බර ගයාන්මද තවමත් ඔබ ළඟ ඉන්නෙ.

නැහැ ඒ ගති දැන් ගොඩක්‌ අඩුයි. මම හැම වෙලාවෙම එයාට කියල දෙනව මේ ඔයාගෙ විදිහ නෙවෙයි ඔයාගෙ දෙමවුපියො සහෝදර සහෝදරියො එහෙම නෑ ඔයාට අයිති ගතිගුණ මේ නෙවෙයි කියල.

මේ ආදර කතාවෙ චතුරිකාට ලද වටිනාම තිළිණය

එයාගෙන් ලැබෙන ආදරය විශ්වාසය තමයි මට වැඩියෙන්ම වටින්නෙ. මොකද කිසිම මොහොතක ගයාන්ට මට වඩා සමීප තවත් කෙනෙක්‌ නැහැ කියන සිතිවිල්ලෙනුයි එයා වැඩ කරන්නෙ. එයාගෙ ලෝකෙ එකම පෙම්වතියත් හිතවතියත් මම විතරයි.
භෞතික දේවල් ගත්තොත් මීට අවුරුදු දෙකකට කලින් එයා මට අරන් දුන්න අත් ඔරලෝසුව මම අදටත් පළඳින්නෙ හරිම ආදර හැඟීමෙන්.

ධම්මිකා සුරංජි පතිරණ (Divaina)

 

[rns_reactions]