හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලොබියේ දී සුසිල් සහ සුසන්ත පුංචිනිලමේ මුණගැසුණේය.
“දැන් ඉතින් ආණ්ඩුවේ හිටියා ඇති. දැන්වත් ඇවිත් ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙන්න” මහින්ද සුසිල්ට කීවේය.
“ඒක තමයි සර්. අපි හෙට ජනාධිපතිතුමත් මුණගැහෙනවා. පක්ෂයක් විදියට එකතු වෙලා ගත්තු තීන්දුව එක කට්ටියක් එකතු වෙලා වෙනස් කළේ කොහොමද කියලා අපි එතුමාගෙන් අහනවා” සුසිල් පිළිතුරු දුන්නේය.
විවාදය නිමවා පාර්ලිමේන්තුවෙන් පිටතට එමින් සිටි පියල් නිශාන්තට ආනන්ද අලුත්ගමගේ මුණගැසුණේය.
ආනන්ද පසුගිය දිනවල සිටියේ රනිල් විවේචනය කරමින් විශ්වාසභංග යෝජනාවට සහාය දිය යුතුය යන මතයේය.
එහෙත් ඔහු අවසාන මොහොතේ රනිල්ට පක්ෂව ඡන්දය පාව්චිච කළේය.
සාක්කුවෙන් පන්දහසේ කොළයක් අතට ගත් පියල් “මන්ත්‍රිතුමා මේවටද ඡන්දෙ දුන්නේ?” ඇසුවද ආනන්ද කිසිවක් කීවේ නැත.
විශ්වාසභංග යෝජනාවෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස මහින්දානන්දගේ නිවසෙහි රැස් ව ඉදිරි කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.
විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වූවත් ආණ්ඩුවට මෙතෙක් කලක් පාර්ලිමේන්තුවේ තිබුනු තුනෙන් දෙකක බලය අහිමි වීමේ වාසිය සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් අදහස් දැක්විණි.
බ්‍රහස්පතින්දා උදෑසන සුසිල්, එස්බී, සුසන්ත, ඩිලාන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා මුණගැසීමට ගියහ.
එහිදී ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක සන්ධානයේ සහ නිදහස් පක්ෂයේ ලේකම් තනතුරුවලින් ඉවත් කරන ලෙසය.
විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවට පක්ෂය විසින් තීන්දුවක් ගෙන තිබිය දී ඡන්දය භාවිත කිරීමෙන් වැලකීමට පිරිසක් ගත් තීන්දුව සම්බන්ධයෙන් මෙහිදී ඔවුන් ජනාධිපතිවරයා හමුවේ අප්‍රසාදය පළ කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන්තමින් හෝ රැකුණේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ තමන් 16 දෙනා නිසා බවත් ඡන්දය දීමෙන් වැලකුණු පිරිස එසේ කළේ මුදල්වලට කියා ජනතාව විශ්වාස කරන බවත් ඔවුහූ පෙන්වා දුන්හ.
එහිදී ජනාධිපතිවරයා කීවේ විශ්වාසභංගට පක්ෂව ඡන්දය දීමට ගත් තීන්දුව හොඳ බවය.
ජනාධිපතිවරයා මුණගැසී එන ඇමැතිවරුන් පිරිසට මහින්ද සමරසිංහ මුණගැසුණි.
“ඇමැතිතුමා කෝ අපිට නැද්ද හම්බ වෙච්ච එවාගෙන් ගාණක්?” සුසන්ත ඇසුවේය.
“අනේ නිකා ඉන්න. ඔයා විතරයි ඔහොමවත් කතා කළේ. අනෙක් අය අපේ මූණවත් බලන්නේ නැහැ” සමරසිංහ පිළිතුරු දුන්නේය.

