ජනපතිගේ උපදෙස් පරිදි පෞද්ගලික රෝහල්වල ගාස්තු නියාමනය කරනවා – රාජිත සේනාරත්න

Spread the love

පෞද්ගලික රෝහල්වල නේවාසික, පරීක්ෂණ ගාස්තු ඇතුළු සියලුම අයකිරීම් ඉදිරි කාලයේදී නියාමනය කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රාජිත සේනාරත්න මහතා පවසයි.

පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනය කිරීමේ පනත යටතේ පැවරී බලතල අනුව ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ(17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ෆුල් බ්ලඩ් කවුන්ට් පරීක්ෂණයක ගාස්තුව රු.800-900ක් පමණ වන බවත්, එම ගාස්තුව රු.250ක් පමණ දක්වා අඩුකළ හැකි බවත්, ඩෙංගු රෝගය පරීක්ෂා කිරීම සඳහා සිදුකරන ඇන්ටිජෙන් පරීක්ෂණය රු.4000 ක් පමණ වන අවස්ථා වාර්තා වන බවත්, එය උපරිමය රු.1000ක්  කළ හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව අද පුද්ගලික රෝහල් බලධාරීන් සමග සාකච්ඡා කොට ලබන සඳුදා වන විට ඒ සඳහා ක්‍රියා මාර්ග ගන්නා බව ඔහු අවධාරණය කළේය.

ඩෙංගු රෝගය ව්‍යාප්තවීම  හදිසි තත්ත්වයක් ලෙස සලකා කසළ ඉවත්කිරීමේ කටයුතු සඳහා හමුදාවේ සහය ලබාගැනීමට අපේක්ෂා කරන රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේය.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීමට යාමේදී සෞඛ්‍ය නිලධාරීන්ට ඉඩම් හිමියන්ගෙන්, බලධාරීන්ගෙන් විවිධ බලපෑම් එල්ලවන බවත්, ඒ නිසාම යුනිෆෝම් සහිත හමුදා නිලධාරීන්ගේ සහය ලබාගන්නා විට එම බලපෑම් අවම වන බවත් ඔහු සඳහන් කළේය.

ඩෙංගු රෝගය සඳහා අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව පවත්නා බවත්, ඒවා තායිලන්තයෙන් ගෙන්වා ගනු ලබන්නේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මගින් බවත්, වෙළෙඳපළ හරහා නොවන බවත් සේනාරත්න මහතා සිහිපත් කළේය.

මේවන විට ඩෙංගු රෝගීන් 63,984ක් වාර්තා වී ඇති බවත්, රෝගීන් 200ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මේවන විට ඩෙංගු රෝගය ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඩෙංගු මදුරුවන්ගේ ඩෙංගු බැක්ටීරියාව විනාශ කිරීමට ඔස්ට්‍රෙිලියාවෙන් බැක්ටීරියාවක් සාර්ථකව අත්හදා බලා ඇති බවත්, ඉදිරියේදී එය මෙරටට ගෙන්වීමට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

අනෙක් අතට ඩෙංගු රෝගය මර්දනය කිරීමේ වැඩපිළිවෙළ සඳහා සෞඛ්‍ය සේවයට අලුතෙන් 412ක් බඳවාගෙන ඇති බවත්, 1500ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

ගංවතුර තත්ත්වයක් ඇතිවීම නිසා ඉදිරියේදී ඩෙංගු ව්‍යාප්තිය තවත් බරපතළ විය හැකි බැවින් ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවත්, හමුදා සහය ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා සමග හෙට දිනයේ සාකච්ඡා කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් මෙම මාධ්‍ය හමුවට එක්වුණු විශේෂඥ වෛද්‍යවරයෙකු කියා සිටියේ ඩෙංගු රෝගීන්ට වේදනා නාශක ඖෂධ ලබාදීමෙන් වැළකිය යුතු බවයි.

පැරසිටමෝල් විශේෂයක් හැර ඩෙංගු රෝගීන් වේදනා නාශක භාවිතා කිරීමෙන් ජීවිත අවදානමක් ඇති විය හැකි බවත්, ඇතැම් වෛද්‍යවරුන් රෝගීන්ට වේදනා නාශක ලබාදී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් එවැනි වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා විනය ක්‍රියා මාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

[rns_reactions]