ජනාධිපතිවරයා හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බව හෙළි කළ පුද්ගලයා පොලිස් ඔත්තුකරුවකු බවත් ඔහු පොලීසියට ලබාදී ඇති ඇතැම් ඔත්තු සම්බන්ධයෙන් මුදල් ගෙවීම් ප්‍රමාද වී ඇති බවටත් තොරතුරු වාර්තා වන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (19) පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදාළ සිදුවීම පිළිබඳව මාධ්‍යය විමසූ ප්‍රශ්න හමුවේ ඇමැතිවරයා:
අදාළ පුද්ගලයා මීට පෙර පොලීසියට ලබාදුන් ඔත්තුවකට රුපියල් ලක්ෂ 5 ක් ගෙවා තිබෙනවා. මහනුවර සිදුවීම සම්බන්ධයෙනුත් ඔහු තොරතුරු සපයා තිබෙනවා. නමුත් ඒ සඳහා ඔහුට තාම පොලීසිය මුදල් ගෙවා නොමැති බව වාර්තා වන බවද ඇමැතිවරයා පැවැසීය.
මොහු කරන චෝදනාව බරපතළයි. මේ පිළිබඳව පොලිස්පතිවරයා ජනපතිවරයාටත්, අගමැතිවරයාටත් වාර්තාවක් සපයා තිබෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වනවා. එම පරීක්ෂණවලට රජය ඇඟිලි නොගසන බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය.
අදාළ චෝදනාව එල්ල කළ පුද්ගලයාගෙන් ප්‍රශ්න කළ පසු ඩී.අයි.ජී. වරයාගෙනුත් ප්‍රශ්න කරනු ඇති බව රාජිත සේනාරත්න මහතා පැවැසීය.
වත්මන් පොලිස්පතිවරයාගේ ඇතැම් හැසිරීම් පිළිබඳව මාධ්‍යය මෙහිදී ඇමැතිවරයාගෙන් කරුණු විමසූ අවස්ථාවේ එවැනි හැසිරීම් සම්බන්ධයෙන් තමාද එකඟ නොවන බව රාජිත සේනාරත්න මහතා මෙහිදී පැවැසීය.