ජනපති මෙෙත්‍රි ප්‍රමුඛ යහපාලන රජය අපි අාරක්ෂා කරනවා.. කුමන්ත්‍රණකරුවන් පරදනවා – සුව ඇමැති කියයි

ජනපති මෙෙත්‍රි ප්‍රමුඛ යහපාලන රජය අපි අාරක්ෂා කරනවා..  කුමන්ත්‍රණකරුවන් පරදනවා –  සුව ඇමැති කියයි
Spread the love

මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාව අමතක කර ජනපති මෙෙත්‍රි ප්‍රමුඛ වත්මන් රජයට ගමනක් නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 37 වන ශාඛාව අක්කරෙයිපත්තුව නගරයේ දී  විවෘත කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ 37 වන ඔසුසල අද විවෘත කළා. දිවයින පුරා ඔසුසල ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා තිබෙනවා. අත්‍යාවශ්‍ය  ඖෂධ වර්ග 48 ක මිල අඩු කළ අතර, ඉදිරියේ දී තවත් ඖෂධ ගණනාවක මිල අඩු කිරීමටත් සුදානමින් සිටිනවා. පෞද්ගලික රෝහල්වල විවිධ අයකිරීම් පාලනය කිරීමට කටයුතු කරනවා. යහපාලන රජය ජනතාව වෙනුවෙන් සේවය කිරීමටයි කැප වී සිටින්නේ. ඇතැම් අයට සිදු කළ වෙනස්කම් තේරෙන්නේ නැහැ. වත්මන් රජය වෙනස්කම් රැසක් සිදු කළා. සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් මගේ දර්ශණය වන්නේ දුප්පතුන්ට හොද සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමයි. ලෝකයේ හොදම සෞඛ්‍ය සේවාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දී තිබෙනවා.”

“2015 ජනාධිපතිවරණයේ දී නැගෙනහිර පළාත විජයග්‍රහණය කළේ හංසයා ළකුණයි. පොහොට්ටුවලට ඡන්ද තිබුනේ නැහැ. දිවයින පුරා මුස්ලිම් ජනතාවගෙන් සියයට 45 ක් වත්මන් රජය බලයට පත් කර ගැනීම සදහා කැප වී කටයුතු කළා. මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාව අමතක කර මෙම රජයට ඉදිරියට යන්න බැහැ. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බලයේ සිටින්නේ ඔබලා ලබාදුන් ඡන්දය මතයි. සිංහල පළාත් වලටත් වඩා උතුරු නැගෙනහිර පළාත් වලින් හංසයා ළකුණට ඡන්දය ලැබුනා. මුස්ලිම් ජනතාවට සම අයිතිය ලබාදෙන තුරු ඉදිරියටත් සටන් කරනවා. විවිධ ස්ථාන වල කලබල නිර්මාණය කරන්නේ අන්තවාදීන් විසින්. සියලු ජාතීන්ට එක සමාන අයිතිය ඇති ශ්‍රී ලංකාවක් ගොඩනැගිය යුතුයි. එම නිසා අන්තවාදීන්ගේ කළබල වලට බිය වන්න එපා. පසුගිය රජය හා සසැදීමේ දී වත්මන් රජය හොද වැඩපිළිවෙළක් දියත් කරනවා. යහපාලන රජය ඇති කළ වෙනස සමහරුන්ට තේරෙන්නේ නැහැ. ඔවුන්ගේ ඔලුව හැදෙන්නෙත් නැහැ. ඇතැම් අය කුමන්ත්‍රණ හා කඩාකප්පල්කාරි ක්‍රියා සිදු කරනවා. එය පරාජය කර රජය ඉදිරියට ගෙන යා යුතුයි.