විදේශයෙන් මෙරටට ගෙන්වනු ලැබූ බුදු පිළිම වහන්සේලා 1000 ක් රේගු ගාස්තුවලින් තොරව නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට නියෝගකර තිබේ.
රජයේ විධි විධාන හා චක්‍ර ලේඛනයන්ට අනුකුලව රේගු දෙපාර්තමේන්තුව විසින් මෙම පිළිම වහන්සේලා නිදහස් කිරීම වෙනුවෙන් ලක්ෂ 32 ක බද්දක් පනවා තිබිණ.
ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි පන්සල් වල වැඩ සිටින මහා සංඝරත්නය දහස් නමක් උදෙසා වෙසක් පොහොය යෙදුණු ඊයේ (29 ) චීන බෞද්ධ දූත පිරිසක් විසින් පූජා කිරීමට සුදානම් කරන ලද පිළිම වහන්සේලාට රජය විසින් ලක්ෂ තිස් දෙකක (32,000,00 ක) බදු මුදලක් නියම කිරීම නිසා එම පිලිම බෙදා දිමට නොහැකි වීම සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් (30) රාත්‍රී අතිගරු ජනාධිපතිතුමාව දැනුවත් කර තිබිණ.
එම අවස්ථාවේදීම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතිගරු ජනාධිපතිතුමා එම පිළිම වහන්සේලා රේගු ගාස්තුවකින් තොරව නිදහස් කිරීමට අදාල පියවර වහාම ගන්නා ලෙස උපදෙස් දී ඇති අතර මෙම කාරණය සම්බන්ධයෙන් තමාව දැනුවත් කිරීම පිළිබඳව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ස්තුතියද පළකර ඇත.
මෙම පිළිම වහන්සේලා රේගු ගාස්තුවකින් තොරව නිදහස් කර ගැනීම සඳහා එම පිළිම වහන්සේලා ගෙන්වූ බව කියන මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් හෝ වෙනත් කිසිඳු වගකිව යුතු පාර්ශවයක් රේගු දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් කිසිඳු ලිඛිත ඉල්ලීමක් කර නොමැති වාර්තාවේ.
කෙසේවුවද මේ සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් මෙසේ පැවසුහ.
”අද වෙසක් පෝය දවසේ චීන දේශයෙන් මගේ ඉල්ලීමකට අනුව දහසක් මහා සංඝරත්නය පිරිසක් හට දානය පූජා කරන්න සැලසුම් කරලා තිබෙන වෙලාවක, ඒ අයගෙන් මං ඉල්ලීමක් කළා අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා ලංකාව පුරා විසිරිලා ඉන්න වැඩ වෙසෙන මහා සංඝරත්නය උදෙසා බුද්ධ ප්‍රතිමා වහන්සේලා ලබා දෙන්න කියා, ඔවුන් එය ලබා දෙන්නට කැමති වුණා ඉන්පසු මා එවන්න කියා සිටියා.
ඒවාගේම මෙරට තිබෙන පිරිත් සූත්‍ර එරටට රැගෙන ගොස් නව තාක්ෂණය ඔස්සේ පටිගත කර කැසට් යන්ත්‍ර අද මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට බෙදා දෙන්න සූදානම් කර තිබුණා.
ඉතින් මේ ලිපි ලේඛන ඔක්කොම අරගෙන ගිහින් කතාබහ කරලා බැලුවට පස්සේ චක්‍රලේඛයක් කියලා එකක් ඉදිරිපත් කළා, ඉතින් මේ චක්‍රලේඛයෙන් කියන්නේ බුදු පිළිම නිදහස් කරන්න බෑ කියලා.
මේවාට ලක්ෂ තිස් දෙකක්, මිලියන තුනක් ඉල්ලුවා බදු, ඉතින් මේ චීනෙන් ආපු දූත පිරිසත් බොහොම කණගාටුවට පත් වුණා මේ වගේ අවාසනාවන්ත තත්වයක් මේ ලංකාවෙ තියෙන්නෙ කියලා.
ඒ අය මේ රටේ විතරක් නෙවේ ඉන්දියාව, භූතානය, නේපාලය මෙවැනි ප්‍රතිමා පූජා කර තිබෙනවා. ඒ රටවල මෙවැනි භයානක තත්වයකට මුහුණ දී නොමැති බවයි එම දූත පිරිස පැවසුවේ. ඒ අයගේ හදවත් කම්පා වුණා මේ පුවත ඇහුවට පස්සේ. ”