ජනපති මෛත්‍රිගේ සංකල්පයකට අනුව ඉදිකළ දෙමටගොඩ නිවාස 437ක් අද ජනතා අයිතියට!

ජනපති මෛත්‍රිගේ සංකල්පයකට අනුව ඉදිකළ දෙමටගොඩ නිවාස 437ක් අද ජනතා අයිතියට!
Spread the love

අතිගරු ජනාධිපතිතුමාගේ මෙහෙයවීම සහ උපදෙස් මත  ක්‍රියාත්මක ‘නිවසක් වෙනුවට ජීවිතයක්’ වැඩපිළිවෙළ යටතේ කොළඹ නගරය තුළ ජීවත්වන අඩු පහසුකම් සහිත ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීම උදෙසා කොළඹ නගරය පුරා ව්‍යාප්තව පවතින වතු ජනාවාස 1, 500 ක අඩු පහසුකම් සහිත පවුල් ඒකක 50, 000 කට ආසන්න පිරිසක් නවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ මහල් නිවාසවල පදිංචිකරවීම කඩිනමින් සිදු කෙරේ.

2016, 2017 වර්ෂවල දී රුපියල් මිලියන 7, 496 ක් නාගරික සංවර්ධන අධිකාරිය සතු මුදලින් ආයෝජනය කර නිවාස 1, 874 ක් ඉදිකර ජනතාව වෙත ලබා දී ඇත. 2018 වසරේ මැයි මස වන විට රුපියල් මිලියන 5, 756 ක ආයෝජනයකින් තවත් නිවාස 1, 439 ක් ජනතා අයිතියට පත් කෙරේ. ඒ අනුව නිවාස 437 ක් රුපියල් මිලියන 1, 748 ක ආයෝජනයකින් ජනතා අයිතියට පත් කිරීම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මූලිකත්වයෙන් අද(10) දෙමටගොඩ ආරාමය පෙදෙස සියපත් සෙවණ නව නිවාස සංකීර්ණයේ දී සිදු කෙරේ.

2020 ප්‍රථම අඩු ආදායම්ලාභී පවුල් වෙත ලබාදීමේ අරමුණින් රුපියල් මිලියන 42, 330 ක නාගරික සංවර්ධන අධිකාරියේ ආයෝජන මත නව නිවාස 9, 100 ක් මේ වන විටත් ඉදිකිරීම් ආරම්භ කර ඇත. එම නව නිවාස සංකීර්ණ හේනමුල්ල, දෙමටගොඩ, අංගොඩ, මට්ටක්කුලිය, අලූත් මාවත, මාලිගාවත්ත, කොලොන්නාව, කොළඹගේ මාවත, කාලිංග මාවත, ටොරින්ටන් මාවත, සහ බ්ලූමෙන්ඩල් යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඉදිවෙමින් ඇත.

මහල් නිවාස තුළ පදිංචි කෙරුණු පවුල්වල දූදරුවන්ගේ පාසල් අධ්‍යාපනය සහ සමාජීය ජීවන අවබෝධය උසස් මට්ටමකට ගෙන ඒමේ අරමුණින් ”නැණ දිරිය” අධ්‍යාපන වැඩසටහන ආරම්භ කර ඇත. ඒ යටතේ 5 වසර ශිෂ්‍යත්ව පන්ති හා සම්මන්ත්‍රණ, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව, තාක්ෂණ විෂයන්, චිත්‍ර, නැටුම්, සංගීත යන විෂයන් සඳහා පන්ති පැවැත්වීම, අ.පො.ස. (සා.පෙළ) හා අ.පො.ස. (උ.පෙළ) සිසුන් සඳහා අධ්‍යාපන මාර්ගෝපදේශන වැඩමුළු පැවැත්වීම යන වැඩසටහන් තුළින් පුද්ගල සංවර්ධනය, ආකල්ප දියුණුව මෙන්ම දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීම මෙම වැඩ සටහන මගින් බලාපොරොත්තු වේ.

එසේම ළමයින්ගේ සහ යෞවනයින්ගේ කලා දක්ෂතා හඳුනා ගැනීම, වර්ධනය කිරීම සහ කුසලතා එළි දැක්වීමට අවස්ථා උදාකරදීම මෙන්ම මනා රසවින්දනයකට ළමා හා වැඩිහිටියන් නැඹුරු කරවීමේ අරමුණින් ”රිද්ම සැරිය” නමින් ප්‍රසංග කලා සෞන්දර්ය වැඩ සටහනක් ක්‍රියාත්මක කරමින් පවතී.