ජාතිවාදීන් ගිණි තැබූ මුස්ලිම් හෝටලය සංහිදියාවෙන් එක දවසින් යලි විවෘත කරයි..!

ජාතිවාදීන් ගිණි තැබූ මුස්ලිම් හෝටලය සංහිදියාවෙන් එක දවසින් යලි විවෘත කරයි..!
Spread the love
අන්තවාදීන් කීපදෙනකු විසින් අද අළුයම (මාර්තු 11) ගිනිතබා විනාශ කරන ලද ආනමඩුව ‘මදීනා’ හෝටලය පැය කීපයක් ඇතුළත යළිත් පිළිසකර කර එහි ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට ආනමඩුව වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසීහු පියවර ගත්හ.
අළුයම 2.15 ට පමණ යතුරුපැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එම ගිණි තැබීම සිදු කර ඇතැයි සැලකෙන අතර හෝටලයේ විශාල කොටසක් සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී ඇත. 
ඒ සමග දේශපාලනඥයන්, නගරයේ ව්‍යාපාරික සංගමය සහ ආගමික නායකයන් එක්ව අද දවස තුළම එම හෝටලය කලින් තිබුණ තත්වයට පත් කර එය විවෘත කරන බව කියා සිටියහ. 
ඒ අනුව ආණමඩුවේ 250 කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් හෝටලය ප්‍ර‍තිසංස්කරණය කිරීමට එක්වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී,රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර, ආණමඩුව ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ දේශපාලන පක්ෂවල සභිකයින්, පොලීසිය සහ ආගමික නායකයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Image caption යතුරුපැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එම ගිණි තැබීම සිදු කර ඇතැයි සැලකෙයි
“රාත්‍රී හතට පෙර අපි මේ ආපන ශාලාව නැවත විවෘත කරනවා. ආනමඩුව නගරයේ තියෙන එකම මුස්ලිම් හෝටලය මෙයයි. අපි හැමදාම සාමයෙන් ජීවත් වූ පිරිසක්” එම මෙහෙයුමට එක්ව සිටි පුද්ගලයෙක් කියා සිටියේය.
. 
ගින්න නිවා දමා හෝටලය කලින් පැවති අයුරින් සකස් කිරීමට පියවර ගත් ඔවුහු පස්වරු පහ පමණ විට විනාශයෙන් සියයට හැත්තෑපහකට වැඩි වැඩ කොටසක් නිම කිරීමට සමත් වූහ.
ප්‍ර‍හාරයට පැමිණි යතුරුපැදි කරුවන් ගේ දර්ශන සීසීටීවී කැමරාවන්ගේ සටහන් වී ඇති බව ද තහවුරු නොකළ ආරංචි මාර්ග දක්වයි. 
ගින්නෙන් ඇති වූ අලාභය ස්ථිර වශයෙන් තක්සේරු කර නොමැති බව හෝටල් හිමිකරු ප්‍රකාශ කළත්, බැලූ බැල්මට රුපියල් ලක්ෂ පනහකට ආසන්න අලාභයක් සිදුව ඇති බවක් එම අලාභය දුටු පුද්ගලයෝ පවසති.
එම ස්ථානයට රැස් වූ සියලු ජන කොටස්වල මැදිහත්වීමෙන් ‘ආනමඩුව වෙළද සංගමය’ විසින් එක දිනක් ඇතුළත හෝටලය යථා තත්වයට පත්කරනු ලැබීම කාගේත් පුදුමයට හේතු විය. 
Image caption අළුයම 2.15 ට පමණ හෝටලයට ගිනිතබා ඇත්තේ හයදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් යයි සැළකෙයි.
හෝටලයට ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට දැඩි දඬුවම් ලබා දීමට ක්‍රියා කරන බවත් එම ස්ථානයට පැමිණි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කියා සිටියේය.