ඥානසාර හිමි ජනපති සමඟ ජපන් ගිහින් නෑ

ඥානසාර හිමි ජනපති සමඟ ජපන් ගිහින් නෑ
Spread the love

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජපාන නිල සංචාරයට එක්‌වූ ශ්‍රී ලංකා දූත පිරිස අතර ගලගොඩඅත්තේ ඥානසාර ස්‌වාමීන් වහන්සේ ද සිටින බවට සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවි වල පළවන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
 
 එම නිවේදනයේ ,
 
 “ගලගොඩඅත්තේ ඥනසාර ස්‌වාමීන් වහන්සේ ජනාධිපතිවරයාගේ සංචාරයට පෙර පෞද්ගලික සංචාරයක්‌ සඳහා ජපානයට වැඩම කර තිබූ අතර ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කළ ජනාධිපතිතුමා සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුහද හමුව සඳහා ජපාන විහාරස්‌ථානවල නායක ස්‌වාමීන් වහන්සේලා සමගින් උන්වහන්සේද සහභාගි වී ඇත.
 
 එම අවස්‌ථාවේදී ලබාගෙන ඇති ඡායාරූප කිහිපක්‌ භාවිත කරමින් ජනාධිපතිතුමාගේ දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥනසාර ස්‌වාමීන් වහන්සේ එක්‌වූ බව පවසමින් සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක්‌ නොමැති බව දන්වා සිටිමු.” යයි සදහන් වේ.