ටී.එම්.බී. තෙන්නකෝන් : විසිතුරු මල් හා පැළ වගාවෙන් ජීවිතය ‘මල් යහනක්‘ කරගත් ව්‍යවසායිකාවගේ යශෝරාවය

ටී.එම්.බී. තෙන්නකෝන් : විසිතුරු මල් හා පැළ වගාවෙන් ජීවිතය ‘මල් යහනක්‘ කරගත් ව්‍යවසායිකාවගේ යශෝරාවය
Spread the love

සුන්දර ඌව පළාතේ වැලිමඩ, ඩයරබා හන්දියේ “තුරු සිසිල ගොවිපොළ” හා “පැළ තවාන” හිමිකාරිය වන ටී.එම්.බී. තෙන්නකෝන් මහත්මියගේ කතාව ද සමස්ත කාන්තා පරපුරට ආදර්ශයකි. නිවැරදි හා නිසි මඟ පෙන්වීමකි.

මම පුංචි කාලේ සිටම මල් වගාවට හරිම ආසයි. ඒ ආසාව තමයි අද සාර්ථක කෘෂි ව්‍යවසායක්, ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන්නේ“ අපේ කතානායිකාව තෙන්නකෝන් මහත්මිය ආඩම්බරකාර ස්වරයෙන් කීවා ය. ඇගේ ස්වරය තෘප්තිමත්ය. අභිමානවත් ය. ජීවිතය ජයගත්, තම සිහින සැබෑකර ගත් ඇගේ මුහුණ ද උදෑසන පිපි මලක් සේ පියකරුව තිබේ.

මල් වලට දැක්වූ අසීමිත ආසාව

සෑම දරුවෙකුට ම, දැරියකට ම ළමා කාලයේ සිට අසිරිමත් සිහින හා ආශාවන් තිබේ. ඒ සිහින හෝ ආසාවන් පසුපස හඹා යාම බොහෝ දෙනකුගේ සිරිත ය. එහෙත් සතුටුදායක ලෙස, තෘප්තිමත් විය හැකි ආකාරයෙන් ඒ සිහින ජය ගන්නේ, ආශාවන් ඉටුකර ගන්නේ අතලොස්සකි. එ් අතර ව්‍යවසායකයින්ට, ව්‍යවසායිකාවන්ට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

“මම පුංචි කාලේ සිටම මල් වගාවට හරිම ආසයි. ඒ ආසාව තමයි අද සාර්ථක කෘෂි ව්‍යවසායක්, ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන්නේ“ අපේ කතානායිකාව තෙන්නකෝන් මහත්මිය ආඩම්බරකාර ස්වරයෙන් කීවා ය. ඇගේ ස්වරය තෘප්තිමත්ය. අභිමානවත් ය. ජීවිතය ජයගත්, තම සිහින සැබෑකර ගත් ඇගේ මුහුණ ද උදෑසන පිපි මලක් සේ පියකරුව තිබේ.

ඌව පරණගම මැදවෙල ප්‍රදේශයේ උපන් තෙන්නකෝන් මහත්මියගේ පියා සුළු ව්‍යාපාරිකයකු වන ගුණසේකර තෙන්නකෝන් සහ මව එම්. තෙන්නකෝන් නම් වූවා ය.

යළි සිහිපත් කරන්නේ නම් ඇය කුඩා කල සිට ම මල් වගාවට ආසාවෙන් පසු වූවා ය. එහෙත් සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය හා සමාජ සම්මතයන් තුළ ‘මල් සිහින‘ වෙනුවට බලහත්කාරයෙන් පැටවූ සිහින බොහෝ  විය.

කාලයට මිලක් හා වටිනාකමක්

කුඩා කල සිට ම පැවැති ‘මල් සිහිනය‘ රැක ගෙන ම තෙන්නකෝන් තරුණිය විවාහා දිවියට පිවිසියා ය. ඊට පසුව ගත වූ කාලය සාම්ප්‍රදායික ගෘහණියකගේ භූමිකාව හැර අන් යමකට ඉඩ හසරක් ලබා නො දුන් නමුත් කාලය වේගයෙන් ගෙවී ගියේ ය.

“කුඩා කල සිටි ම මල්වලට තිබුණ ආසාව මගෙන් කවදාවත් ඈත් වුණේ නැහැ. මම හැමදා ම ඒ ආසාව සමඟ ජීවත් වුණා. කොහොම නමුත් විවාහයෙන් පසු සැමියා රැකියාවට යාමත්, දරුවන් දෙදෙනා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමත් සමඟ කාලයක් තිස්සේ ගත කළ කාර්ය බහුල ජීවිතයට යම් සහනයක් ලැබුණා. නිවසේ තනිව ගතවන කාලය අර්ථවත් කිරීමට මම කල්පනා කළා. ඒ නිසාම වැලිමඩට ආවේණික යැයි කියන්න පුළුවන්, ඒ වගේම කුඩා කාලයේ සිට මම දැක්ක සිහිනය සැබෑ කර ගන්න මම කල්පනා කළා. ඒ අනුව තමයි මම සුළු පරිමාණයෙන් මල් පැළ වගාවක් ආරම්භ කළේ“ තෙන්නකෝන් මහත්මිය තමන් මේ දක්වා පැමිණි ගමනේ මුල් පියවර ගැන අප සමඟ කීවාය.

ඇය මෙතැන් සිට සාම්ප්‍රදායික ගෘහණියකගේ භූමිකාවට සමු දී අපේ වචනවලින් කියන්නේ නම් ‘ක්ෂුද්‍ර ව්‍යවසායිකාවගේ‘ වගකීම් සහගත භූමිකාවට පණ දුන්නා ය.

කුඩා මල් පැළ වගාවක් ආරම්භ කළ ඇය, මුලදී බාහිර තවාන්කරුවන්ගෙන් පැළ මිල දී ගත්තා ය. දේශීය සංචාරකයන් නිතරම ගමන් කරන බණ්ඩාරවෙල – වැලිමඩ පාරේ ඩයරබා හන්දියේ පිහිටි තමන්ගේම පැළ තවානක මෙම පැළ අලෙවි කිරීම ආරම්භ කළ අතර ඉතා ඉක්මනින් ඇයගේ පැළ තවාන සංචාරකයින් අතර ජනප්‍රිය විය.

සාර්ථකත්වය සොයා එයි

‘සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම කාන්තාවක සිටී‘ මෙය ජනප්‍රිය කියමනකි. එහෙත් අපේ කතා නායිකාවගේ කතාව ඉහත කියමනේ ප්‍රතිලෝමය යි.

“මම බලාපොරොත්තු වුණ ආකාරයට ම මගේ පැළවලට සංචාරකයින්ගේ ඉල්ලුම ඉහළ යාමත් සමඟ විවිධ මල් වර්ග, විසිතුරු පැළ හා පලතුරු පැළ වගාවට මම යොමු වුණා. විශ්‍රාමික නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයෙකු වන මගේ සැමියා, බන්දුල හේමචන්ද්‍රගේ කෘෂිකර්මය පිළිබඳ උසස් දැනුම සහ නොමඳ සහයෝගයත් මගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට මහත් පිටුබලයක් වුණා“ ඇය කෘතඥ පූර්වක ස්වරයෙන් කීවාය.

“තුරු සිසිල ගොවිපොළ” හා “පැළ තවාන” මඟින් අලෙවි කළ පැළ වර්ග ඉතාමත් විශ්වාසයෙන් හා වගකීමෙන්, 100%ක් විශ්වාසයෙන් අලෙවි කිරීම මෙම ව්‍යාපාරය දියුණු වීමට මහඟු අත්වැලක් විය.

ඇය හරිතාගාරය තුළ මල් හා විසිතුරු පැළ වගා කරන අතර විවෘත භූමියේ පලතුරු පැළ වගා කරයි.

වෘත්තීය වගකීම් සම්භාරයක්

අද වන විට තෙන්නකෝන් මහත්මිය දඹදින්න කලාප මල් වවන්නන්ගේ සංගමයේ සභාපතිවරිය ලෙස කටයුතු කරන්නී ය. ඔවුන්ගේ මල් සංගමය මැදිහත්ව මල් හා පලතුරු පැළ නිෂ්පාදකයන් මුහුණ දෙන වගා ගැටලු විසඳා දීමට ඉදිරිපත්ව සිටින අතර ඔවුන්ට නව දැනුම ලබා දීමටත් පියවර ගෙන තිබේ. එමෙන්ම, මෙම වගා ක්ෂේත්‍රයේ දැනුම පුළුල් කිරීම උදෙසා රජයේ හා පෞද්ගලික ආයතන හා සම්බන්ධීකරණ කටයුතු කිරීම ද ඔවුන්ගේ විශේෂත්වයකි.

මීට අමතරව ඇය තවත් කෘෂිකර්ම හා ව්‍යාපාරික සංගම් කිහිපයක ම නිලතල හොබවන්නී ය. විදේශ මල් බීජ ආනයනය සඳහා බලපත්‍ර ලාභිනියක වන ඇය, පෙටෝනියා, ලිප්ස්ටික්, ටොරොනියා, සෙලෝසියා, වින්කා රෝසියා, ක්‍රිස්මස් කැක්ටස් වැනි මල් වර්ග සහ පේර, දෙළුම්, අනෝදා, අලිගැටපේර වැනි පලතුරු පැළ විවිධත්වයෙන් සපයමින් සිටින්නී ය.

“මල් පැල වලින් වඩාත් ඉල්ලුමක් තිබෙන්නේ පිටෝනියා හා ලිප්ස්ටික් යන ප්‍රභේදයෙන් දෙකට යි“ තෙන්නකෝන් මහත්මිය ව්‍යාපාරික රහසක් හෙළි කළාය.

Facebook ඔස්සේ ‘මලක වතගොත සමඟ අලෙවිය’ නමින් පිටුවක් නඩත්තු කරන ඇය, මල් වගාවට කැමැත්තක් ඇති අයට මල් බීජයකින් පටන්ගෙන පැළයක් හදාගෙන වගාව දියුණු කරගන්නා ආකාරය පිළිබඳ උපදෙස්ද ලබා දෙන්නීය

ඇගයීම් හා සම්මාන

මෙලෙස උසස් ගුණාත්මක මල් හා විසිතුරු පැළ නිෂ්පාදනය මගින් ඌව පළාත් ජාතික වාණිජ කර්මාන්ත මණ්ඩලය හා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් 2019 වර්ෂයේදී පවත්වන ලද තරඟයෙන් “මල් හා විසිතුරු පැළ නිෂ්පාදනක අලෙවි ව්‍යාපාරය යටතේ ක්ෂුද්‍ර කර්මාන්තයේ රන් සම්මානය, සමස්ත තරඟාවලියේ හොඳම කාන්තා ව්‍යවසායිකා විශේෂ සම්මානය” යන සම්මාන දෙකම හිමි කර ගැනීමට ද ඇය සමත් වූවා ය. මෙම සම්මාන පිරිනැමීමේ දී, මල් වගාව පිළිබඳව පුළුල් දැනුම, ගිණුම් කටයුතු නිසි ලෙස පවත්වා ගෙන යෑම, නව තාක්ෂණය භාවිතය, නව ප්‍රභේදයන් වගා කිරීම, අන්තර්ජාල මුහුණුපොත භාවිත කරමින් මල් වගා පිළිබඳව උපදෙස් දීම, සේවක සුභසාධනය හා සමාජ සේවය යන නිර්ණායකයන් සලකා බලා තිබේ.

අද වන විට ස්ථිර සේවිකාවන් සිවු දෙනකු සහ අනියම් සේවකයෙකුගේ සේවයත් සමඟ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නිල තවානකට ඇය හිමිකම් කියයි.

මල් වගාවක් ආරම්භ කිරීමට කැමති ඕනෑම අයෙකුට තෙන්නකෝන් මහත්මියගේ උපදෙස් හා මාර්ගෝපදේශ ලබා ගත හැකිය. (0715544009)

ඇය මෙසේ කියමින් තම සාර්ථකත්වයේ කතාව අවසන් කළා ය.

“නිරෝගී ජීවිතයක්, ආර්ථික ආදායමක් සහ ආත්ම සන්තුෂ්ඨියක් ලබා ගැනීමට නිවසේ සිට මල් පැළ වගාවක් ආරම්භ කිරීම මනරම් ක්‍රියාවක්. රජයේ රැකියාවක වැටුපට වඩා ඉහළ ආදායමක්ද මෙයින් උපයාගත හැකි බව මම ඔප්පු කළා.” ඇය තවත් කාන්තාවන්, යුවතියන් දස දහස් ගණනකට මාවතක් පෙන්වා දෙමින් පැවසුවාය.

සටහන – වරුණි ජයතුංග

මෙම ලිපිය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය / HARTI විසින්  DevPro Guarantee Limited හි මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් අතර ධාරිතාව ගොඩනැගීම සහ ජාලකරණය හරහා ව්‍යාපාරික අවස්ථා සහ කර්මාන්ත සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම’ නම් වැඩසටහන මඟින් ‘ ලබා දෙන ලද ලිපියකි.

Post Comment