තරුණ ජීවිත සමග සෙල්ලම් කරද්දී ‘තාත්තයි – පුතයි දෙන්නම එකයි – ඇමැති ඉන්දික

තරුණ ජීවිත සමග සෙල්ලම් කරද්දී ‘තාත්තයි – පුතයි දෙන්නම එකයි – ඇමැති ඉන්දික
Spread the love

වත්මන් රජය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කිසිවකුගේ රැකියා අහිමි නොකළ බවත්, හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොන්ත්‍රාත් පදනමින් ලබා දුන් පත්වීම් නිසා තරුණ තරුණියන්ට රැකියා අහිමි වු බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.     

තරුණ ජීවිත රවටා එතුමන් අද සිදුකළ දෙයම එදා ඔහුගේ පියාණන්ද බලය ලබා ගැනීම සඳහා තරුණ ජීවිත යොදාගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.  

පසුගිය රජය සමයේ නිවාස අමාත්‍යංශය විශාල ලෙස අවභාවිතයට ලක්ව ඇති අතර එහි නිළධාරීන්ද විශාල පීඩනයකට ලක්වෙමින් සේවය කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, හිටපු නිවාස අමාත්‍යවරයා රට පුරා නිවාස ඉදිකරනවා යැයි පවසමින් නිවාස සඳහා මුල්ගල් තබමින් තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට කටයුතු කර ඇති බවත්, ඉන් රටේ ජනතාවට කිසිදු සේවයක් සිදු නොවූ බවත් ප්‍රකාශ කළේය.  

ජනතාව අද වැඩකරන රටක් ඉල්ලා සිටින බවත්, වත්මන් රජය අද නිවාස අමාත්‍යංශය හරහා එය රටට සහ ලොවට පෙන්වා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දිවයින පුරා නිවාස 14,022 ක් ඉදිකිරීමේ “ගමට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන යටතේ නිමකළ ප්‍රථම නිවස ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (01) දින සහභාගී වෙමිණි. මෙම උත්සවය ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, ඔර්චඩ්වත්ත ග්‍රාමසේවා වසමේදී පැවැත්විණි.     

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, ජීවත්වීමට ස්ථීර නිවසක් නොමැතිව සිටින අඩුආදායම්ලාභී පවුල්වල නිවාස ගැටලු විසදීමේ අරමුණින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය සහ මග පෙන්වීම යටතේ දිවයින පුරා නිවාස 14,022 ක් ඉදිකිරීමේ “ගමට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස සංවර්ධන වැඩසටහන පසුගිය පෙබරවාරි මස 01 දින කුරුණෑගල, ගිරිබාවේදී ආරම්භ විය.

දින 60 ක් තුළ නිවාස ඉදිකර අවසන් කිරීමේ ඉලක්කයක් සහිතව මෙම වැඩසටහන ආරම්භ කළ නමුත්, දින 30 කට අඩු කාලයකදී පළමු නිවස අංගසම්පූර්ණව ඉදිකර අවසන් කිරීමට රජයට හැකිවීම විශේෂත්වයකි.

“ගමට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහනේ පළමු නිවස ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයද ඉතා චාම් ආකාරයට සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සහ සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, ප්‍රාදේශීය දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.