මෙවර පළාත් පාලන මැතිවරණයේ එක් තැපැල් ඡන්දයක් වෙනුවෙන් රුපියල් 750 ක් පමණ වියදමක් දරන බැවින් තැපැල් ඡන්ද භාවිත නොකිරීමෙන් රජය අයකරන එම මුදල අපතේ යන නිසා තැපැල් ඡන්ද පහසුකම අයදුම් කර එම ඡන්දය පාවිච්චි නොකළ සියලු දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (01) මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදී.
තැපැල් ඡන්ද ප්‍රකාශ නොකළ අයගෙන් නිදහසට කරුණු විමසා සාධාරණ හේතුවක් නොමැතිනම් එම වැයවන මුදල අදාළ ඡන්ද දායකයාගෙන්ම ආපසු අයකර ගත හැකි දැයි සොයා බලන බවද සභාපතිවරයා කියා සිටි අතර ආරක්‌ෂක හමුදාවල සියල්ලන්ම පාහේ තැපැල් ඡන්ද සලකුණු කර ඇතැයිද අනෙකුත් තැපැල් ඡන්ද පාවිච්චි නොකළ පිරිසට අද දිනය පමණක් ඒ සඳහා ඉඩ සලසාදී ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කලේය.
