Saturday, 4 October 2025

තෙල්දෙණියේ ගිනි නිවෙද්දී මැණික්හින්න ඇවිලෙයි… මහනුවර අලුත්ම තත්වය ගැන ඇත්ත මෙන්න..

තෙල්දෙණියේ ගිනි නිවෙද්දී මැණික්හින්න ඇවිලෙයි… මහනුවර අලුත්ම තත්වය ගැන ඇත්ත මෙන්න..
Spread the love

නුවරට යළිත් ඇඳිරි නීතිය

තෙල්දෙණියේ ඇති වූ නොසනුසුන්කාරී තත්ත්වය හේතුවෙන් අද (06) රාත්‍රී 8 සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.
 
පොලිස් ඇදිරි නිතිය හෙට උදෑසන  6 දක්වා ක්‍රියාත්මකවනු ඇත.

ඇඳිරි නීතිය මැද මැණික්හින්නේ කළබල

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබිය දී මැණික්හින්නේ කළහකාරී ලෙස හැසිරුණු පිරිසක් පාලනය කිරීමට අහසට වෙඩි තැබූ බව උසස් පොලිස් නිලධාරියෙක් අපට පැවසීය.

අද රාත්‍රී පුද්ගලයින් 400 ක පමණ කණ්ඩායමක් මැණික්හින්න ප්‍රදේශයේ කළහකාරී ලෙස හැසිරෙන්නට වූ බවත්, හදිසි නීතිය යටතේ පවත්නා නීතිය සහ සාමාන්‍ය නීතිය යටතේ පිරිස පාලනය කිරීමට අහසට වෙඩි තබන්නට සිදුවූ බවත් එම පොලිස් නිලධාරියා කීවේය. 

පොලිසිය අහසට වෙඩි තබද්දී පිරිස පලා ගිය බව කී පොලිස් නිලධාරියා තුවාලකරුවන් සිටීද යන්න ගැන මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවද පැවසීය. 

හදිසි නීතිය යටතේ කළබලකාරී තත්ත්වයන් පාලනය කිරීමට ත්‍රිවිධ හමුදාවටම බලය ලබා දී ඇති බවද, මේ යටතේ අත්අඩංගුවට ගත් පිරිසට ඇප ලබා ගැනීමට පවා නොහැකි බවද  කී උසස් පොලිස් නිලධාරියා සාමකාමීව නීතියට අනුකූලව  කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අවධාරණය කළේය.

මේ අතර අදාළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකුගේ උදර ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවත් ඔහු මේවන විට රෝහල්ගත කර ඇති බවටත් වාර්තා පළ වෙනවා.

නීතිය කැඩුවොත් ඇපත් නෑ – පොලිසිය 

නීතිය හා සාමය කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු සුවිශේෂ බලතල රාශියක් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පවරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් 2.45 සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඒ අනුව මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවැනි කොටස මේ වන විට ක්‍රියාත්මක වන බවත්, එහි පස් වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාශයට පත් කර ඇති බව ද ගුණසේකර මහතා කීවේය.

ජීවිත හානි සිදු කිරීම, තුවාල සිදු කිරීම, ලිංගික හිංසනය, දේපොළවලට හානි කිරීම, කොල්ලකෑම, ජාතීන් අතර පවතින සමගියට බාධා වන ආකාරයේ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම, එවැනි කතා දේශන පැවැත්වීම, එවැනි ලිපි පල කිරීම, එවැනි තත්ත්වයක් ඇති වන ආකාරයට සමාජ මාධ්‍ය භාවිත කිරීම ආදිය මෙම රෙගුලාසි යටතේ ගැණෙන වැරදි බවට ප්‍රකාශයට පත් කර තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.  එවැනි වරදකදී ජීවිතාන්තය දක්වා හෝ අවුරුදු 20ක් දක්වා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමේ දඬුවම පනවා ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

එම වරදවල් සිදුකිරීමට තැත්කිරීම හා කුමන්ත්‍රණය කිරීමද මේ යටතේම වරදක් වන අතර එවැනි වැරදි වලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයන්ට පවරා ඇති බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එලෙස අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හැකිතාක් ඉක්මණින් ළඟම ඇති පොලිස් ස්ථානයට බාර දිය යුතු බව ද ප්‍රකාශ කළේය.

‘‘ එලෙස අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පැය 24ක් ඇතුළත ළඟම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ යුතුයි. සැකකරුවන්ගේ වරදේ සංකීර්ණභාවය සැලකිල්ලට ගෙන පොලිස් භාරයේ වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාවක් තිබේනවා නම් එම සැකකරුවන් දින 14ක් නොඉක්මණ කාලයක්  රඳවා ගැනීමට රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පවරා  තිබෙනවා. මේ යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කරන සැකකරුවන්ට අධිකරණයෙන් ඇප ලබා දිය යුත්තේ සුවිශේෂී හේතු තිබේ නම් පමණයි. සුවිශේෂී හේතු නොතිබුණොත් නඩු විභාගය අවසන් වන තුරු සැකකරු රක්ෂිත බන්ධනාගාරයේ තැබිය යුතුයි. ‘ යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේය.

භීතිය හා අප්‍රසාදය ඇතිවන ආකාරයට සහ සංහිඳියාවට බාධා ඇතිවන ආකාරයට  සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීමට සුදුසු පියවර ගැනීමේ බලය රාජ්‍ය නිලධාරින්ට මෙන්ම ව්‍යවස්ථාපිත ආයතනවලටද බලය ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

‘මෙම හදිසි නීති රෙගුලාසි උල්ලංඝණය වීම වැලැක්වීමට නෛතික වගකීමක් පොලිසියටත් ත්‍රිවිධ හමුදාවටත්, රාජ්‍ය නිලධාරීන්ටත් වෙනත් ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනවල නිලධාරීන්ටත් මේ යටතේ පවරා තිබෙනවා. අද සවස හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීමත් සමඟම ජනාධිපතිවරා පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට නියෝග මාලාවක් නිකුත් කළා. වහාම ක්‍රියාත්මක වන පිරිදි මෙම බලතල උපයෝගී කරගෙන රටේ ඇතැම් ස්ථානවල උද්ගතවී ඇති සාපරාධී වාතාවරණයන් සමනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම, මෙම හදිසි අවස්ථා රෙගුලාසි සාමකාමී මහජනතාවගේ ජනත ජීවිතයට අවම බාධාවක් වන ආකාරයෙන් හා සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය නොවන පරිද්දෙන් සද්භාවයෙන් ක්‍රියාත්ම කිරීම, මේ යටතේ සාපරාධී ක්‍රියා සිදුකරන තැනැත්තන්ට එරෙහිව ඔවුන්ගේ තත්ත්වය හෝ තරාතිරම, ජාතිය හෝ ආගම, දේශපාලන පක්ෂපාතීත්වය කෙරහි අවධානයක් යොමු නොකර  විෂයානුබද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම ආදී වශයෙන් නියෝග මාලාවක් තිබෙනවා. ‘ යැයි ද රුවන් ගුණසේකර මහතා කීවේය.

පවතින තත්ත්වය රජය විසින් විටින් විට නිරීක්ෂණය කරන බව ද, තත්ත්වය සමනය වී මහජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත වූ සැනින් හදිසි අවස්ථාව ඉවත් කිරීමට අපේකෂා කරන බවත්, මේ වන විට අපේකෂාව දින හතක කාලයකට ප්‍රකාශයට පත් කිරීම බව ද , හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ආරක්ෂක අංශ ප්‍රධානීන් එක්ව විශේෂ වැඩපිළිවෙලක් සකස් කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

යම් ස්ථානයක සාපරාධි ක්‍රියාවන් සිදුවන්නේ නම්  හෝ සිදු කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු දන්නා සියලු දෙනාම මෙම රෙගුලාසි අනුව එම තොරතුරු ප්‍රමාධයකින් තොරව ළඟම පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට දැන්වීමට නීතිමය වගකීමක් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අවධාරණය කළේය.

මෙම සිදුවීම් මාලාවේදී පොලිසිය රාජකාරි පැහැරහැරියේයැයි එල්ලවෙන චෝදනා ගැන මාධ්‍යවේදියෙකු විමසූ අතර ඊට පිළිතුරු දුන් පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා කීවේ එවැන්නක් තහවුරු වන්නේ නම් ඊට එරෙහිව විනයානුකූලව ක්‍රියා කරන බවයි. ඇඳිරිනීතිය තිබියදීත් ඊයේ රාත්‍රී කඩ කිහිපයකට පහරදීම සම්බන්ධයෙන් විමසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ සුළු සිද්ධි කිහිපයක් වාර්තා වූ නමුත් ඇඳිරිනීතිය නිසා දරුණු තත්ත්වයන් ඇති නොවී පාලනය කර ගත හැකිවූ බවයි.

ජාතිවාදී ගැටුම් ඇතිකරගැනීම විනාශයට හේතුවයි – මල්වතු අනුනාහිමිවරු කියති

ජාතිය හා ආගම පදනම් කර ගනිමින් ගැටුම් ඇති කර ගැනීම සියලු ජාතීන්ගේ විනාශයට හේතු විය හැකි බවත් මේ මොහොතේ සැවොම ඒ බව සිහියේ තබා ගනිමින් කටයුතු කිරීම ඉතා වැදගත් බවත් මල්වතු අස්ගිරි උභය මහ විහාරීය අනුනායක හිමිවරු පැවැසූහ.

තෙල්දෙණිය හා දිගන ආශ්‍රිතව ඇතිවී තිබෙන නොසන්සුන්තාව පාලනය කිරීම පිණිස ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීම පිණිස ආගමික නායකයින්ගේ හා දේශපාලනඥයින්ගේ සහභාගීත්වයෙන් අද (06) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාව අවසානයේ  අනුනාහිමිවරු මේ බව ප්‍රකාශ කළහ.ධර්මිෂ්ඨ සමාජයක් ගොඩ නැගීම පිණිස බුදුන් වහන්සේ ප්‍රධාන සෑම ආගමික කර්තෘන් වහන්සේ නමක්ම ධර්මය දේශනා කර තිබෙන බවත් උන්වහන්සේලාගේ අනුගාමිකයින් වන අප බෙදීම් ඇතිකර ගනිමින් ගැටුම් සඳහා යොමු වන්නේ නම් එය බරපතල ගැටලුවක් බවද අනුනාහිමිවරු ප්‍රකාශ කරති.මෙහිදී අදහස් දැක්වූ මල්වතු අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ මෙසේ පැවැසූහ.අප අතර මතබේද තිබිය හැකියි. නමුත් ඒ ඔස්සේ ඇතිවන ආවේගශීලි අදහස් පාලනය කිරීමට නොයා මහත් ව්‍යසනයක් ඇතිවන සේ කටයුතු කිරීම මගින් සමස්ත රටම ආපස්සට ගමන් කරනවා.

වසර 30 ක යුද්ධයකට මැදිව කටයුතු කළ අපි දැන් ඉන් නිදහස්ව සාමයෙන් සමඟියෙන් ඉන්නවා. දැන් එය ආරක්ෂා කර ගැනීම පිණිස සහයෝගයෙන් ක්‍රියා කිරීමට සෑම ජාතියකටම වගකීමක් බවද අනුනාහිමියෝ පැවසූහ. දැන් ඇතිවි  තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර ගනිමින් ඉදිරියට සාමකාමී ලෙස අප ජීවත් වන්නේ කෙසේද කියල සාර්ව ආගමික නායකයින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම වැදගත් බවත් නියංගොඩ විජිතසිරි අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.

මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ මෙසේ කීහ. 

බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානු යන සියලු ජාතීන් මෙරට තුළ සාමයෙන් හා සමඟියෙන් ජීවත් විය. එය මතුවටත් ආරක්ෂා කර ගන්නේ කෙසේදැයි සියලු ආගමිකයින් කල්පනා කර බැලිය යුතුයි.
බෞද්ධයින් ලෙස අප දානය, ප්‍රියවචනය, අර්ථ චර්යාව, සමානාත්මතාව යන උතුම් කරුණු අනුගමනය කරන පිරිසක්. ඒවා සංහිඳියාව සඳහා නියම මඟ පෙන්වීමක්. ඒත් ජාතිය පදනම් කර ගනිමින් සිදු වන්නේ නම් එය අප සියලු දෙනාගේ විනාශයට හේතුවනු ඇතැයිද පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ සඳහන් කළහ. 

මහනුවර පාසල් හෙටත් වහලා

මහනුවර පාසල් හෙට දිනයේද වසා තැබෙන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
 
තෙල්දෙනියේ ඇතිවූ සිද්ධියෙන් පසු මහනුවර පාසල් අද දිනයේද  නොපැවැත්විණි.
 
මේ අතර කොළඹ කලාපය ඇතුළු ඇතැම් ප්‍රදේශවල පාසල් මීට පෙර යොදාගෙන තිබුණු වාර්ෂික අධ්‍යාපන චාරිකා දින නියමයක් නැතිව කල් දමා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.