කඩුගන්නාව නගර සභාවේ උප සභාපති එස්.කේ. විජේරත්නගේ නිවසට ඊයේ කිසියම් පිරිසක් ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
ඔහු පවසන්නේ තමා නියෝජනය කරන පොදු ජන පෙරමුණේම අපේක්ෂකයකුව සිටි පුද්ගලයකු මෙම ප්රහාරය එල්ල කර ඇති බව යි.
කඩුගන්නාව නගරාසන්නයේ කොළඹ – නුවර ප්රධාන මාර්ගය ආසන්නයේ පිහිටි මොහුගේ නිවසට මෙම ප්රහාරය එල්ල කර තිබුණේ ඊයේ පස්වරුවේදී යි.
සිද්ධිය වන අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් නොසිට ඇති අතර පහර දීම සිදු කළේ යැයි සැක කෙරෙන පිරිස ලොරියකින් සහ ත්රී රෝද රථයකින් නිවස ඉදිරියට පැමිණි අයුරු ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබෙනවා.
කඩුගන්නාව නගර සභාවේ උප සභාපති එස්.කේ. විජේරත්න එම ධුරයට තේරී පත් වුණේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණෙන්.
ඔහු පවසන්නේ මෙම පහරදීම සිදු කළ, කඩුගන්නාව නගර සභාවට පොදු ජන පෙරමුණේ ලයිස්තුවෙන් නම් කර තිබූ අදාළ පුද්ගලයා තමාට මෙන්ම බිරිඳට ද අවස්ථා කිහිපයකදී තර්ජනය කළ බව යි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළ උපසභාපතිවරයාගේ බිරිඳ මෙසේ පැවසුවා.
“අවුරුද්දට නංගිලගේ ගෙදර ගියා. අම්මලා නංගිලා ඔක්කොම එහේ හිටියේ. එහෙට ඇවිල්ලා බැන්නා. ඒ කිව්වේ උප නගරාධිපති වුණාට අපිට ලොකු කම් වැඩක් නෑ. එහෙම කියලා දොස් කිව්වා. හතර දෙනෙක් හිටියා එතන. යකඩ පොල්ලක් තිබුණා. එතන කෑ ගහලා කෑ ගහලා තමයි මෙතන්ට ඇවිල්ලා තියෙන්නේ”
කඩුගන්නාව නගර සභාවේ උප සභාපති එස්. කේ. විජේරත්න මෙසේ කියා සිටියා.
“මරණවා කිව්වා. පුළුවන්නම් වරෙන් කිව්වා. ඊට පස්සේ මම ගෙදරින් පිට වුණා. අපි දෙන්නා එක පක්ෂයෙන් ඉල්ලුවේ. මේ දේශපාලන ක්රමයේ තමයි වැරැද්ද තියෙන්නේ”
සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසියේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ, විමර්ශන කටයුතු සඳහා විශේෂ කණ්ඩායමක් යොමු කර ඇති බව යි.
ආරක්ෂිත කැමරා දර්ශන පිළිබදව ද වැඩි අවදානයක් යොමු කර ඇති බව ද එම නිලධාරියා ප්රකාශ කළා.

