දුම්රියේ හොරෙන් ගිය අයගෙන් මාස 10කදී කෝටි 11/2ක දඩ

Spread the love

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත් පරීක්ෂක නිලධාරීන් සහ සංචාරක ප්‍රවේශපත් විභාග නිලධාරීන් මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් අවසානය දක්වා කාලය තුළ දිවයින පුරා ධාවනය කරන ලද දුම්රිය වල සිදුකරන ලද ජංගම ප්‍රවේශපත් පරීක්ෂාකිරීම් හා හදිසි වැටලීම් වලින් රුපියල් එක් කෝටි හැට අට ලක්ෂ අසු දෙදාස් නවසිය විසි දෙකක (16882922.00) වාර්තාගත දඩ ආදායමක් උපයාගැනීමට සමත්වී තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුටව් වාණිජ අධිකාරී කාර්යාලය පවසයි.

කොළඹ, නාවලපිටිය හා අනුරාධපුර දුම්රිය කලාපවල මෙම හදිසි වැටලීම් හා ජංගම මෙහෙයුම් සිදුකරන කරනලද අතර, එහිදී වංචනිකව දුම්රියේ ගමන් කිරීමේ චෝදනා වලට වරදකරුවන්වු මඟීන් ගෙන් මෙම දඩ මුදල අයකරගෙන තිබේ.

ප්‍රවේශ පත්‍ර රහිතව දුම්රියේ ගමන් කිරීම, 3 වන පංතියේ ප්‍රවේශ පත් රැගෙන 1 හා 2 පංතිවල ගමන් කිරීම හා ප්‍රවේශ පත්‍රයේ සඳහන් දුරට වඩා වැඩිදුර ගමන් කිරීම එම අය සිදුකරන ලද වංචනික ක්‍රියා වේ. අදාළ කාලය තුළ සොයාගනු ලැබු වංචනික මඟීන් 10668 ගෙන් මෙම දඩ මුදල් අයකර ගෙන තිබෙන බව එම නිලධාරීහු පැවසුහ.

මේ වන විට දුම්රියේ වංචනිකව ගමන් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වන එක මඟියකුගෙන් අය කරන දඩ මුදල රුපියල් 3000.00 දක්වා වැඩිකර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ අධිකාරි ජී.ඩබ්ලිව්.එස්. සිසිරකුමාර මහතා පවසයි.

වංචනික ක්‍රියා නිසා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබිය යුතු විශාල ආදායමක් අහිමිවන බැවින් එම තත්වය වළක්වා ගැනීම පිණිස දැනට හදිසි වැටලීම් හා ජංගම පරීක්ෂණ වැඩිකර තිබෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

[rns_reactions]