දූෂණ වංචා නඩු මාස 6ක් ඇතුලත අවසන් කරනවා

දූෂණ වංචා නඩු මාස 6ක් ඇතුලත අවසන් කරනවා
Spread the love

ඊයේ (19දා) එක්සත් ජාතික පක්‍ෂ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පවසන ලදී….

“බොහෝ දෙනා අපෙන් විමසන්නේ හොරුන්ට දඬුවම් කරන්නේ කවද්ද? හොරුන් අල්ලන්නේ කවද්ද? යන ප්‍රශ්නයයි. හොරුන් ඇල්ලීම එක් කාරණයක්. දඬුවම් කිරීම තවත් කාරණයක්. නඩු ගොනු කළත් එම නඩු විභාගයේදී තවත් මාස 3 ක්  4 ක් ඉදිරියට නඩු කල් යෑම දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබෙනවා. ඇතැම් විට එම නඩු මාස 6 කට අවුරුද්දක පමණ කල් යනවා. මේ ආකාරයට නඩුවක අවසාන තීන්දුව දීමට අඩුම වශයෙන් තවත් වසර 5 ක් පමණ ගත වෙනවා. අභියාචනාධිකරණයට ගිය පසු තවත් වසර 2 ක් පමණ ගත වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයටත් ඉදිරිපත්වීමට සිදුවෙනවා.

නඩු විභාග කිරීමට වසර 5ක් ගත වෙනවා නම් සාක්ෂිකරුවන්ට සාක්‍ෂිත් අමතක වීමට පුළුවන්. එවගේම එම නඩු සම්බන්ධයෙන් රාජකාරී කටයුතු කරන පොලිස් නිලධාරීන් විශ්‍රාම ගන්නවා. අවසානයේ එම නඩුවලට තීන්දුවක් ලබාදීමට නොහැකි තත්ත්වක් ඇති වෙනවා.

ගොනු කරන නඩු සඳහා ඉක්මන් තීන්දුවක් ලබාදෙන්නේ නැත්නම් ඒ සඳහා වසර 5 ක් පමණ ගතවෙනවා නම් නඩු ගොනු කිරීමේ පලක් නැතැයි පොලිස් නිලධාරීන් අපට පැවසුවා. එම නඩුවලට අදාල සාක්‍ෂිකරුවන් මියයාමටත් ඉඩ තිබෙනවා. ඇතැමුන් ගම් බිම් හැර දමා යාමට ඉඩ හැකියි. එම නඩු සඳහා වගකීමක් ගත නොහැකියි. නඩු වහාම විභාගයට ගත යුතුයි. නැතිනම් නඩු විභාග නොකර සිටිය යුතුයි.

මේ සම්බන්ධයෙන් තලතා අතුකෝරල මැතිනිය සමඟ අප සාකච්ඡා කළා. එතුමිය සමඟ සාකච්ඡා කරමින් අප නව නීතියක් සකස් කළා. එම නීතියට අනුව නීතිපතිතුමාට සෘජුවම මහාධිකරණයට නඩුව යොමු කිරීමේ හැකියාව තිබෙනවා. එම නඩුව විභාග කරන්නේ එක් විනිශ්චයකරුවෙක් නෙවෙයි. ඒ සඳහා විනිශ්චයකරුවන් තිදෙනකු සිටිනවා. ඔවුන් තිදෙනා දිනෙන් දින නඩු විභාගයට ගත යුතුයි. මේ ආකාරයට කටයුතු කරනවා නම් මාස 3 ක් හෝ 6 ක් ලෙස නඩු කල්දැමිය නොහැකියි. මේ ක්‍රමයට අනුව මාස 6 ක් යාමට පෙර නඩු විභාග කර අවසන් තීන්දුවක් ලබාදීමට ඉදිරියේදී හැකියාව ලැබෙන බව මම කියන්න කැමතියි. මේ ක්‍රමය යටතේ අභියාචනාධිකරණ දෙකක් හරහා කටයුතු කරන්නට ලැබෙන්නේ නැහැ. නඩුව සෘජුවම යොමු කෙරෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. අඩුම වශයෙන් අවුරුද්දක් හෝ 2 ක් ගත වුවත් නඩුව ඉක්මනින් අවසන් විය යුතුයි.

නඩු විභාග සඳහා තීන්දුවක් ලැබෙන තුරු වසර 10 ක් පමණ බලා සිටීමට දැන් අවශ්‍ය වන්නේ නැහැ. දූෂිතයන් අල්ලාගැනීම පමණක් නොව ඔවුන්ට නඩු දැමීමෙන් පසුව ඉක්මනින්ම දඬුවම් දීමේ හැකියාවත් මේ අනුව ලැබෙනවා. ඉක්මනින් දූෂිතයින්ට දඬුවම් දීම සඳහා මෙතෙක් කල් තිබූ බාධකය තලතා අතුකෝරල ඇමතිතුමිය මේ ආකාරයට ඉවත් කළ බව පැවසිය යුතුයි.

හොරු ඇල්ලීම සහ නඩු පැවරීම සම්බන්ධයෙන් තවත් බාධක ගණනාවක් තිබෙනවා. නඩු භාන්ඩ වැඩිවන විට නඩු සංඛ්‍යාවත් වැඩි වෙනවා. මේ සඳහා වෙනම ඒකකයක් ඇති කළ යුතු බවට අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යතුමා යෝජනා කළා. තලතා අතුකෝරල අමාත්‍යතුමිය නීතිපතිතුමා සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කරමින් දැන් වෙනම ඒකකයක් පිහිටුවා තිබෙනවා. එම නීතිඥ කණ්ඩායම් හරහා නඩු ඉක්මනින් ඉවර කිරීමේ හැකියාව අපට ලැබෙනවා.”