දූෂිතයෝ කවුද.. නැද්ද කියලා මුළු රටම දන්නවා.. මම ඉන්න‌ේ දුෂණ විරෝධි ‌කදවුරේ – ජනපති ම‌ෛත්‍රි කියයි…

දූෂිතයෝ කවුද.. නැද්ද කියලා මුළු රටම දන්නවා.. මම ඉන්න‌ේ දුෂණ විරෝධි ‌කදවුරේ – ජනපති ම‌ෛත්‍රි කියයි…
Spread the love

එක්‌ පසෙකින් ඉන්දියන් සාගරයය. අනෙක්‌ පසින් බේරේ වැවය. මේ දෙකටම මුහුණලා ඇති ජනාධිපති කාර්යාලයේ සිට ඔහු රට කරවීමේ කර්තව්‍යයේ නිරතව සිටියි. තමන්ගේ භාර්යාව අතින් නිමවූ දිවා ආහාරය ගැනීම සඳහා ඔහු ජනාධිපති පුටුවෙන් නැඟී සිටියේ ‘තාම දවල්ට කාලවත් නැහැ…’ යෑයි කියමිනි. ‘මම මේ කාර්යාලයට එන්නේ උදේ හතයි තිහට… ඒ තරමට වැඩ පිරිලා…’ යෑයි කියමින් දිවා ආහාරය සඳහා වාඩිගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ කරන ලද සාකච්ඡාවයි මේ.

ප්‍රශ්නය – සෝභිත හිමි සමරු උළෙලේදී ඔබ විසින් පවත්වන ලද කතාවෙන් පෙනී ගියේ, ඔබගේ අරමුණ කරා යැමේ දුෂ්කරතාවක්‌ තිබෙන බවයි. ජනාධිපතිතුමනි… ඔබ දැන් සිටින්නේ පීඩනයකට ගොදුරු වෙලාද…? නැතිනම් තනිවෙලාද…?

පිළිතුර – කොහෙත්ම තනිවෙලා නැහැ. හැබැයි දූෂිතයන්ගෙන් වෙන් වෙලා.

ප්‍රශ්නය – ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ දූෂණයට විරුද්ධව බව සහ ඊට එරෙහිව ක්‍රියා කරන බව රටට ප්‍රතිඥාවක්‌ ලෙස ලබා දෙමින්. ඒ කියන්නේ ඔබ කලින්ම දූෂිතයන්ගෙන් වෙන් වුණා කියන එකනේ… මෙතැනදී වෙන්වීම ලෙස සඳහන් වන්නේ, ඔබ සමඟ එකට ආණ්‌ඩු කරන පාර්ශවයේ දූෂිතයන් පිළිබඳව ද…?

පිළිතුර – දූෂිතයෝ කවුද… නැද්ද කියලා මුළු රටම දන්නවානේ… මට මගේ ප්‍රතිපත්ති වෙනස්‌ කරන්න පුඑවන් කමක්‌ නැහැ. මම සැමවිටම දූෂිත දේශපාලනයට විරුද්ධයි. දූෂණයට විරුද්ධව අරගල කරන කොට දූෂිත දේශපාලනඥයන් සන්ධානගත වෙනවා. එයයි අද සිදුවෙලා තිබෙන්නේ. ඉදිරියේදී ජනතාවම හඳුනා ගනී කවුද හරි… කවුද වැරදි කියලා… අද රටේ මහජනතාවට අවශ්‍ය වෙන්නේ දූෂිතයන්ගෙන් තොර දේශපාලන ව්‍යාපාරයක්‌. ඒ ජනතා අවශ්‍යතා අනුව මගේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ මම සකස්‌ කරනවා. දූෂිත දේශපාලනයට විරුද්ධ සෑම කෙනෙක්‌ටම ඒ සඳහා එකතු වෙන ලෙස ආරාධනා කරනවා. ඒ සඳහා පක්‌ෂ බේදයකින් තොරව පුළුල්, ශක්‌තිමත් ජාතික දේශපාලන බලවේගයක්‌ ගොඩනැඟීමට විශාල ජනතා සහයෝගයක්‌ ලැබෙයි කියා මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය -ඔබ පක්‌ෂයේ විශාල ප්‍රතිසංවිධානයක්‌ කළා. එම ප්‍රතිසංවිධානයේදී අපිට ඉතා පැහැදිලිව පෙනෙනවා ක්‍රියාකාරී දේශපාලනයේ නොමැති විශ්වවිද්‍යාල ආචාර්යවරයකු පක්‌ෂයේ ලේකම් බවට පත්කරනවා. ඒ අතර 16 කණ්‌ඩායමත් පක්‌ෂයේ සිටිනවා. එම කණ්‌ඩායම ඔබ සමඟ කටයුතු කරමින් මහින්ද රාජපක්‌ෂ මහත්මයා සමඟත් කටයුතු කරන පිරිසක්‌. ශ්‍රීලනිපයේ අලුත් ප්‍රතිසංස්‌කරණයේ අරමුණ පොහොට්‌ටුව සමඟ යා වෙන පාළමක්‌ තැනීමද…?

පිළිතුර – නැහැ. පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය විදියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ දර්ශනය සහ ප්‍රතිපත්තිය තුළ ඒකරාශිව වැඩ කිරීමේ පසුබිම සකස්‌ විය යුතුයි. මම මේ කතා කරන දූෂිත දේශපාලනයට විරුද්ධ ජාතික ව්‍යාපාරයක්‌ ගොඩනැඟිය යුත්තේ, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නායකත්වය තුළයි, කියා මම විශ්වාස කරනවා. ඒ තුළ රටේ මහජනයා බලාපොරොත්තු වන දිසාවට යා හැකියි කියා මම විශ්වාස කරනවා. අද ලංකාවේ සියලු දේශපාලන පක්‌ෂවල අභ්‍යන්තර ආරවුල් තිබෙනවා. අභ්‍යන්තර ආරවුලක්‌ නැති කිසිදු දේශපාලන පක්‌ෂයක්‌ නැහැ. කවුරු හරි කියනවා නම් ‘අපේ පක්‌ෂයේ එහෙම එකක්‌ නැහැ…’ කියා එය සම්පූර්ණයෙන්ම මුළාවක්‌. රට වශයෙන් ගත්විට රටේ තිබෙන සියලු දේශපාලන පක්‌ෂවල අභ්‍යන්තර අර්බුද, ආරවුල් තිබෙනවා. රටේ අනාගතය සඳහා. එය නිරාකරණයේදී ඉතාමත් වැදගත්… එතැනදී වැදගත් වන්නේ අප යන ඉලක්‌කයයි. නිවැරදි වැඩපිළිවෙළ කුමක්‌ද? එම නිවැරදි වැඩපිළිවෙළක්‌ සඳහා අවශ්‍ය එකතුවීමක්‌ තමයි අද අවශ්‍ය වන්නේ.. ඉදිරියට කුමනාකාරයේ නින්දා, අභියෝග, බාධාවන් කොතෙක්‌ ආවත් ඒ සියල්ල තුළ මම පුළුල් ජාතික දේශපාලන ව්‍යාපාරයක්‌ ගොඩනඟනවා.

ප්‍රශ්නය – ඔබගේ පුත් දහම් සිරිසේන මහතාට මහරගම ප්‍රදේශයේ සුවිසල් නිවසක්‌ තිබෙන බවට වෙබ් අඩවි කිහිපයක සඳහන් කර තිබුණා. මේ චෝදනාව පිළිබඳව ඔබගේ ප්‍රතිචාරය කුමක්‌ද…?

පිළිතුර – මහරගම ගෙවල් ඕනතරම් ඇති. මහරගම විශාල ජනගහනයක්‌ ඉන්නවානේ. ඒ නිසා ඔය පළාතේ ලොකු ගෙවල් හුඟාක්‌ ඇති… ඔය කියන විදියේ මහරගම ගෙයක්‌, මටවත් මගේ දරුවෙකුටත් නැති බව, දන්න අය දන්නවා. සමාජ වෙබ්අඩවි, නොයෙක්‌ කටකතා මාර්ගයෙන් ඉතාමත් අසත්‍ය දේවල් පතුරවා හරිනවා. ඔය කියන හැමදේටම, වෙන වෙනම උත්තර දෙන්න ගියොත් මට වෙන වැඩක්‌ කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා ගැන නොසලකා, මම රට වෙනුවෙන් කළ යුතු වැඩ කොටසයි කරන්නේ. අසත්‍ය කියන දේ වේගයෙන් සමාජයට ගලා ගියත් එහි සත්‍යතාව සහ යථාර්ථය යම් ප්‍රමාදයකින් හෝ ජනතාව වෙත සන්නිවේදනය වෙනවා.. විදුලි වේගයටත් වඩා වේගයකින් අසත්‍යය ගමන් කරනවා. ගෙවල් පෙන්වන දේවල් නොයෙකුත් දේවල් සම්පූර්ණයෙන් මම ප්‍රතික්‌ෂේප කරනවා. ඒවා සංවිධානාත්මක අතර සාමාන්‍ය කතාවේදි කියන දේශපාලන මඩ ව්‍යාපාර තමයි. ඒ අපහාස සියල්ල කරන්නේ දූෂිතයන් සහ දූෂිතයන් රකින අය. සමාජ වෙබ් අඩවිද, විද්යුත් මාධ්‍යයද, මුද්‍රිත මාධ්‍යයද, කටකතාවෙන්ද ඒ සියලු දෙනා මට විරුද්ධව කතා කරන දූෂිත දේශපාලනඥයන් රැකීම සහ දූෂිත දේශපාලන ව්‍යාපාරවල තත්ත්වය සමහර විට දැනගෙන සමහර විට නොදැන කටයුතු කරන අය.

ප්‍රශ්නය – ඔබගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රමුඛ ප්‍රතිපත්තිය වූ දින 100 යේ වැඩපිළිවෙළයි. ඒ පිළිබදව ආන්දෝලනාත්මක ප්‍රකාශයක්‌ ඔබ විසින් පසුගියදා සිදු කළා. මේ ආණ්‌ඩුවේ අවුල පටන් ගත්තේ එම වැඩපිළිවෙළින් බව ඔබ සඳහන් කළා. එම වැඩපිළිවෙළ අවුලක්‌ නම් අලුත් වැඩපිළිවෙළකට යන්න ඔබට තව කාලයක්‌ තිබෙනවා. ශ්‍රීලනිපයේ ප්‍රතිසංවිධානය ඒ සඳහා සූදානමක්‌ ද…?

පිළිතුර – දින 100 වැඩපිළිවෙළ පිළිබඳව මම පසුගිය දවස්‌වල පැහැදිලි කළා. රජයක්‌ විදියට එවකට තිබුණේ දින 100 හදා ගන්න එක නොවේ. පාර්ලිමේන්තුවේ 47 ක්‌ තියාගෙන, එක්‌සත් ජාතික පක්‌ෂයට දින 100 තුළ තිබුණා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කරන්න, තුනෙන් දෙකේ ඡන්දය ලැබිය යුතු පනත් සම්මත කරන්න, දුම්කොළ, මද්‍යසාර, ඖෂධ පිළිබඳ පනත් සම්මත කරන්න. ඒ ඔක්‌කොම අපි සම්මත කළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්. අද ඒ දේවල් අමතක වෙලා. මතක තිබුණත් ඒ දේවල් නොමැති බව පෙන්වමින් සමාජයට වෙන දෙයක්‌ පෙන්වන්න හදනවා. සමහරු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය මම භාරගත් නිසා මේ ආණ්‌ඩුවට ප්‍රශ්න ගොඩක්‌ වුණා කියන්න කියලා හදනවා.