එළැඹෙන ජනාධිපතිවරණය නියමිත දිනට පෙර නොපවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. නිවිතිගල මහජන පොළ භූමියේ පැවැති නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය.
අද බොහෝ දෙනා ජනාධිපතිධුරය ගැන කතා කළ සියලුදෙනා අවධානය යොමුකළ යුත්තේ ඊළඟ අගමැතිවරයා කවුද කියන කාරණය පිළිබඳව බවද ජනාධිපතිවරයා පැවැසීය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව මින් ඉදිරියට රටේ ප්‍රධාන වන්නේ අගමැතිධුරය බවද ඔහු පැවැසීය.
රටට ආදරය කරන දේශීයත්වය අගයන නාස්තිය දූෂණය නැති නිවැරදි අගමැතිවරයකු රටට පත්කරගත යුතු බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පොදුජන පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් දේශපාලන වශයෙන් අධි තක්සේරුවකට පත්ව ඇත්නම් එය ඔවුන් වරද්දා ගන්නා තැනක් බවයි. තමන් ගැන තමන් විසින්ම කුමන තක්සේරුවකට පැමිණියද ඔවුන් කිසිවකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව තනිව ආණ්ඩුවක් ගොඩනැගිය නොහැකි බව සිහි තබා ගත යුතුබවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
පුද්ගලයන් වටා ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාර තාවකාලික වන අතර රටට අවශ්‍ය වන්නේ දර්ශනයක් සහ දැක්මත් සහිත දේශපාලන ව්‍යාපාරයක් බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මාතෘ භූමිය පිළිබඳ නිසි දැක්මත් සහ දර්ශනයත් ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධාන ශක්තිය වැඩිකරගනිමින් අද සාර්ථක ඉදිරි ගමනක නිරතව සිටින බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
තමන් පිළිබඳ කුමන විවේචන ඉදිරිපත් කරමින්, දේශපාලන වශයෙන් ප්‍රතිවාදීන් කුමන අන්දමින් පහර දුන්නද එම කිසිවකු ඉටු නොකළ වැඩකොටසක් තමා රට වෙනුවෙන් ඉටුකර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා ලොව කිසිදු නායකයකු නොකළ අන්දමින් විධායක ජනාධිපති ධුරය සතු අසීමිත බලතල පාර්ලිමේන්තුවට පවරාදෙමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් පොඩි මිනිසාටද ඉහළට යා හැකි පසුබිම තමා විසින් නිර්මාණය කරදුන් බව කියා සිටියේය.
සැබෑ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්තිය එය බව සඳහන් කළ ජනාධිපතිතුමා මේ රටට සැමදා ගැළපෙන්නේ එම දර්ශනය සහ ප්‍රතිපත්ති බවද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටින බව අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති ප්‍රධාන චෝදනාව වුවද එසේ සිදුකළේ පසුගිය රජයට කළ නොහැකි වූ දේ ඉටුකිරීමට බවත් රටට අහිමිව තිබූ ජාත්‍යන්තර සහයෝගය නැවත දිනාගනිමින් අද රටේ සංවර්ධනයට විශාල වශයෙන් එම සියලුදෙනාගේ සහය ලබාගැනීමට හැකියාව ලැබි තිබෙන බවත් ජනාධිපතිවරයා සිහිපත් කළේය. එමෙන්ම ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම 24 වනදා තමන් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය ඇමැතීමට නියමිතව තිබෙන බවත් ආරක්ෂක හමුදාවන්ට එරෙහි චෝදනාවලින් ඔවුන් නිදහස් කර ගැනීම පිළිබඳව එහිදී ජගත් සංවිධානය හමුවේ නව ප්‍රකාශයක් සිදුකිරීමට අපේක්ෂා කරන බවත්ය. රට හමුවේ ඇති අභියෝග රැසකට ඒ තුළින් විසඳුම් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදී ඇති ප්‍රධාන ගැටලුවකට විසඳුම් ලබාදෙමින් එහි ජනතාවට ප්‍රදේශයේ ගංගා සහ ඇළ මාර්ගවලින් කූඩ යොදා ගනිමින් මැණික් ගැරීමට මෙම සතියේ සිට අවස්ථාව ලබාදීමට පොලීසිය ඇතුළු අදාළ අංශවලට උපදෙස් ලබාදෙන බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් දීර්ඝ කාලයක් පුරා කැපවූ රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් 10 දෙනෙකු ඇගයීමට ලක් කරමින් තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජිත් විජයමුණි ද සොයිසා, රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක මියුරු භාෂිත ලියනගේ, ජගත් පුෂ්පකුමාර, අතුල කුමාර රාහුබද්ධ යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීහු රැසක් මීට එක්ව සිටියහ.
මේ අතර නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කෙරුණේද ජනාධිපතිවරයා අතිනි.