නොමිනිස් ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර ගැන ජනපති මෛත්‍රිගේ අවධානයට…..

නොමිනිස් ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර ගැන ජනපති මෛත්‍රිගේ අවධානයට…..
Spread the love
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන්ගේ පිරිසිදු පානීය ජල ගැටලුවට වසර 20කට පසු ජනපති මැදිහත්වීමෙන් විසඳුම්

ජනාධිපතිවරයා ලෙස තමා වෙත ලැබෙන ලිපි, දුරකථන ඇමතුම් සහ ඇතැම් සාකච්ඡාවලදී අනාවරණය කෙරෙන කරුණු අනුව, ගුරු සිසු සබඳතාවයේ ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය පිළිබඳව මෙන්ම ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර සහ අසාධාරණකම් පිළිබඳව ද තොරතුරු රැසක් වාර්තාවී තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

මෙම අයහපත් තත්ත්වය පිළිබඳ බලධාරින්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේ අද (23) බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

ගුරු වෘත්තීය වෘත්තියකට වඩා උතුම් සේවාවක් ලෙස සැලකූ යුගය සහ ගුරු වෘත්තිය වෘත්තියක් ලෙස පමණක් සලකන වත්මන් යුගය තුළ ඇති වෙනස මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිතුමා කියා සිටියේ ගුරු වෘත්තිය යනු ජාතියක් ගොඩනගන සහ රටේ අනාගතය ගොඩනැගීමේ පූර්ණ වගකීම පැවරෙන කිසිදු වෘත්තියකට දෙවැනි නොවන උතුම්ම වෘත්තිය බවයි.

අද ගුරු සේවයේ සිටින දෙලක්ෂ පනස්දහසකට වැඩි පිරිස අතරේ එම උතුම් වෘත්තියට සුදුසුකම් නොලබන සියයට අටක් – සියයට නමයක් අතර පිරිසක් සිටින බව ද සිදුකළ සමීක්ෂණවලින් කරුණු පෙන්වා දී තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ඒ අධ්‍යාපන සුදුසුකම් අනුව නොව සිය සේවයට දක්වන ගෞරවය, කැපවීම, කුසලතාවය සහ දක්ෂතාවය මත පෙන්වන දුර්වලතා අනුව බවද පෙන්වා දුන්නේය.

ගුරු වෘත්තියේ, රාජ්‍ය සේවයේ මෙන්ම දේශපාලන ක්ෂේත‍්‍රයේද පවතින මෙම අඩුපාඩු සම්පූර්ණ කර ගැනීම දියුණුව කරා පියනගන ජාතියක් ලෙස ඉතා අත්‍යාවශ්‍ය බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ඕනෑම ක්ෂේත‍්‍රයක පිළිගැනීම සහ ගෞරවය ආරක්ෂා වන්නේ එම ක්ෂේත‍්‍ර තුළ කටයුතු කරන පිරිස් සමාජයට ලබාදෙන චරිතවත් බව සහ ආදර්ශය තුළින් බව ද කියා සිටියේය.

බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ අලුතින් ඉදිකරන ලද ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධතිය සිසු අයිතියට පවරාදීම අද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

2018 අපේ‍්‍රල් 28 වන දින බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගීවීම සඳහා ජනාධිපතිතුමා ගුවන් මගින් වයඹ විද්‍යාපීඨ කී‍්‍රඩාංගණය වෙත පැමිණි අවස්ථාවේ එම සිසුන් කළ ඉල්ලීම පරිදි මෙම ජල පිරිපහදු පද්ධතිය ඉදිකර දීම වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කඩිනමින් වෙන් කෙරුණු අතර, ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව එම ඉදිකිරීම් නිම කෙරිණි. ඒ අනුව 2000 වසරේ ආරම්භ වූ වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ආරම්භයේ සිටම පැවති උග‍්‍ර ජල හිඟයට පිළියම් ලබාදෙමින් වසර 20 කට පසු එම සිසුන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයට විසඳුම් හිමිව තිබේ.

නව ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධතිය සිසු අයිතියට පවරාදීම සිදුවූයේ ජනාධිපතිතුමා අතිනි.

ඉන් අනතුරුව පැවති උත්සව සභාවේදී විද්‍යා පීඨයේ විශිෂ්ටතා දැක්වූ සිසුන් සඳහා සහතිකපත් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විනි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පා.ම නලින් බණ්ඩාර, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ යොවුන් පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ද, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ වයඹ පළාත් අධ්‍යාපන නිලධාරින් මෙන්ම පීඨාධිපතිනිය, ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ඉදිකරන ලද ජල ප‍්‍රතිආශ‍්‍රැතිකරණ පද්ධතිය ජනතා අයිතියට පැවරීමේ උත්සවයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2018-05-23 වන දින – බිංගිරියේදී)

ඔබේ විදුපියසට පැමිණීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. සංවර්ධන වැඩ කටයුතුවලදී ගම්වල සහ පොදුවේ ගත්විට ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීමේදී සමහර වේලාවට මැති ඇමතිවරු, පාර්ලිමේන්තුව, පළාත් සභාව, පළාත් පාලන ආයතනවල අවශ්‍යතාවයන් සාකච්ඡා කරනවා.

නලින් බණ්ඩාර මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුවට ගිය දවසේ සිට බිංගිරිය ආසනයේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රශ්න මැති ඇමතිවරු සමග කොතෙක් කතා කරන්න ඇතිද. පාර්ලිමේන්තුවේ කතා කරන්න ඇතිද. අනෙක් නිලධාරීන්ට කොපමණ කතා කරන්න ඇතිද. එයින් සමහර දේවල් ඉෂ්ටවී ඇති. සමහර දේවල් ඉෂ්ට නොවී ඇති. ගම්වල ග‍්‍රාම සංවර්ධන සමිතිවල, කාන්තා සමිතිවල, බෞද්ධ සමිතිවල වැඩ කරන අයත් තමන්ගේ ගමේ තිබෙන ප‍්‍රශ්න, පාර හදාගන්න, බොන්න වතුර ගන්න, ගමේ පාසලට ගොඩනැගිල්ලක් ගන්න, ක‍්‍රීඩා පිටිය හදාගන්න, කනත්ත හදාගන්න කොපමණ ලිපි ලියන අය ඉන්නවාද. සමහර වෙලාවට උද්ඝෝෂණය කරනවා. කතා කරනවා. ඒ දේවල් ලැබුණ විට කියනවා මෙය අපේ ගමට ලැබුණේ අහසින් පාත්වෙලා නොවෙයි, ලිපි ලියලා උද්ඝෝෂණය කරලා කෑගහලා උඟුර ලේ රහ වෙනකම් කෑගහලායි කියනවා.

දරුවනේ ඔබට මේ යම් දෙයක් ලැබී ඇත්නම් එය ලැබී ඇත්තේ එසේ නොවේ. සති තුනකට පෙර මා මෙහි පැමිණි වේලාවේදී මහ ඇමතිතුමා කිව්වා විද්‍යාපීඨයේ දරුවෝ ඉන්නේ කියා. පීඨාධිපතිතුමියත් මා ළඟට ඇවිත් කතා කළා. මහ ඇමතිතුමා කිව්වා වෙසක් උත්සවයට හදිසි වූවත් ළමුන් සමග කතා කර යන්න කියලා. මම ඔබ සමග කතා කළ විටයි මේ ඉල්ලීම ආවේ.

නාවික හමුදාපතිතුමා ඇතුළු තාක්ෂණික ඉංජිනේරු කාර්ය මණ්ඩලයටත් ජනාධිපති ලේකම් කාර්යාලයේ වකුගඩු සංවර්ධන, නිවාරණ අරමුදලේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහත්මයාටත් මම ස්තූතිවන්ත වෙනවා ලබා දුන් උපදෙස් මත එම කාර්යය ඉක්මනින් ඉටු කිරීම පිළිබඳව. විද්‍යාපීඨ පිළිබඳව ගුරු විද්‍යාල පිළිබඳව අවබෝධය සහ අත්දැකීම් මට තිබෙන්නේ ඉතා කුඩා කාලයේ සිටයි. ඒ අන් කිසිවක් නිසා නොව මගේ මව ද ඔබ මෙන් ගුරු විද්‍යාලයක මේ විදියටම පුහුණුව ලැබූ ගුරු වෘත්තියේ කෙනෙක් නිසායි. පොළොන්නරුවේ දුෂ්කර ගම්මානයක හැදුනු වැඩුණු මම පාසලේ පැය පහක් ගත කරද්දී දවසේ පැය 24 න් ඉතිරි මුළු කාලය මම ගත කළේ මගේ නිවසේ. එය තක්සලාවක් වගෙයි කිවහොත් වරදක් නැහැ. අද වගේ නොවෙයි ඒ කාලේ. මම හැදුණු වැඩුණු මගේ ගමට ඔබ ගියහොත් ඔබට දකින්න පුළුවන් කාපට් කරපු ලස්සන පාරවල් සියලු දෙයින් අංග සම්පූර්ණ ගමක් මහා කර්මාන්ත, උද්‍යානයක්, දුම්රිය පොළක් කිසි දෙයකින් අඩුවක් නැති ගමක්. අපි කුඩා කාලයේ හැදිච්ච දුෂ්කර, කටුක පරිසරය තුළ පොළොන්නරුවේ ලක්ෂ උයන විද්‍යාලයට ඔබ වගේම පුහුණු වෙලා පළවැනි පත්වීම ලැබී අපේ ගමට ආවිට බොහෝ අය තමාගේ නවාතැන කරගත්තේ අපේ නිවසයි. මගේ මෑණියන් ගුරු වෘත්තියේ නිසා බොහෝ වෙලාවට ආපුවහම ඉන්නේ කොහෙද කියලා බලනවිට විදුහල්පතිතුමා කියනවා ඔන්න ඔහෙ ටීචර්ලාගේ ගෙදර නම් ඉඩ ඇති පොඩ්ඩක් අහලා බලන්න කියලා. අපේ ගෙදර සෑම විටම අඩු වශයෙන් පස් දෙනෙක් සිටියා. අපේ ගමේ පාසලේ ගුරු මාතාවන් මහත්මයින් අපේ නිවසේ නැවතිලා හිටිය නිසා දවසේ පැය 05 ක් පාසලේදී ඉගෙනගන්නවා වගේම අනෙක් කාලය මගේ නිවස මට තක්සලාවක් වුණා.

ඒ කාලේ අපේ ගම එච්චර හොඳ නැහැ. කසිප්පු, අරක්කු පිරිලා තිබුණා. එහෙම ගමකින් ජනාධිපතිවරයෙක් බිහිවෙන්න සෙවණ දුන්නේ, මඟපෙන්වීම ඇතිවුණේ මගේ නිවස ද තක්සලාවක් කළ ගුරුවරුන් නිසයි. ඔබේ මේ වෘත්තිය මේ යුගයන් තුළ වෘත්තියක් වූවත් එය සැබෑ ලෙසම අතීතයේ හැඳින්වූයේ වෘත්තියක් ලෙස නොවෙයි. සිදුහත් කුමාරයාගේ උපතත් අධ්‍යාපනයත් ඔබ දන්නවා. එදා සිදුහත් කුමරාගේ උපතේ සිට බුද්ධත්වය දක්වා ඉතිහාසය ඔබ දන්නවා. එදා භාරත සමාජයේ දුෂ්කර වූත් කටුක වූත් සමාජ පසුබිම ඔබ දන්නවා. ජේසු ස්වාමී දරුවන් කුරුසයේ ඇණගැසූ සමාජයේ තත්ත්වය ඔබ දන්නවා. සමාජය සහ මිනිසුන් හොඳ වුණේ සහ නරක් වූණේ මේ යුගයේ විතරක් නොවේ. එය බුදුන් වහන්සේගේ දවසෙත්, ජේසුස් වහන්සේගේ දවසෙත්, මහම්මත්තුමාගේ දවසෙත්, භගවත් ගීතාවේ සඳහන් වන ආකාරයට හින්දු ශාස්තෘවරුන්ගේ් මුල් කාලයේ සිටත් සමාජයේ පැවතුණා.

යම් ක්ෂේත‍්‍රයක වැඩකරන ඕනෑම කෙනෙක් දේශපාලනඥයෙක්, රාජ්‍ය නිලධාරීයෙක්, ආගමික පූජකවරයෙක්, ව්‍යාපාරිකයෙක් ආදී සෑම කෙනෙක්ම සමාජයට දෙන ආදර්ශය තුළ තමයි තමාගේ වෘත්තියේ හෝ සේවාවේ වටිනාකම්, ගෞරවය හා පිළිගැන්ම පවතින්නේ. අධ්‍යාපන ඇමතිතුමා දන්නවා, ඔබ දන්නවා මේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයට හා පළාත් සභාවලට අයත් පාසල් දහ දහස් එකසිය ගණනක් අතරේ ඔබේ සේවයේ සිටිනවා දෙලක්ෂ පනස් දහසකට අධික පිරිසක්. මම පසුගිය දිනක වාර්තාවක් දැක්කා ගුරු සේවයේ සිටින අයගෙන් හරියටම සියයට අටක් නමයක් ඉන්නවා පැහැදිලි ලෙසම ගුරු සේවයට සුදුසු නැති අය. එහෙම කියන්නේ ඒ අයගේ අධ්‍යාපන සහතිකයේ ප‍්‍රශ්නයක් නිසා නෙවෙයි. සේවය කිරීමේදී කුසලතාවය, දක්ෂතාවය තුළ ලබාගන්නා වාර්තා නිසයි. ඒ වාර්තාව මම කියෙව්වා. මේක මේ රටේ ගුරු සේවයේ විතරක් තිබෙන ප‍්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ දේශපාලනඥයින්ගෙත් ඒක තමා තත්ත්වය. මේ රටේ රාජ්‍ය සේවයේ ලක්ෂ 14 ක් ඉන්නවා. ඒ ලක්ෂ 14 සමීක්ෂණයක් කළොත් ඔය විදියෙම වාර්තා එයි. ඒ අභියෝගය අපි පැහැදිලිව තේරුම් ගත යුතුයි. මම නම් මගේ පාසල් ජීවිතයේත් මගේ ජීවිත කාලයේත් කවදාවත් උපකාරක පන්තියකට ගිය කෙනෙක් නෙවෙයි.

මම ශිෂ්‍යයෙක් විදියට අධ්‍යාපනය ලබපු කාලයේ සමහර ගුරු මෑණිවරු සහ ගුරු පියවරු අපිට කොතරම් ආදරයක් සෙනෙහසක්, දයාවක්, දක්වපු අවස්ථා වගේම අපිව නොසලකා හැරපු අවස්ථා ද මගේ මතකයේ තිබෙනවා. මම පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබපු කාලයේ අපිට භෞතික විද්‍යාව උගන්වපු ගුරුවරයෙක් හිටියා.

ඔබ දන්නවා ළමයි ඉගෙන ගන්න එක එක විෂයන්වලට විවිධ ශාලාවලට යනවා. විද්‍යාගාර වලට යනවා, රසායනාගාර වලට යනවා, භෞතික විද්‍යාව ඉගෙන ගන්න ගියාම පටන්ගන්න කොටම සර් කියනවා “අපොයි තමුසෙලාද ආවේ, තමුසෙලාට මම කියන්නම්, මේ ඉන්න එක මිනිහෙක්වත් කවදාවත් හරි මිනිහෙක් වෙන්නේ නැහැ. කමක් නැහැ පාඩම පටන් ගමුකෝ” කියලා පාඩම පටන් ගන්නවා. කලාතුරකින් දවසක තමයි එහෙම ඇහුවේ නැත්තේ. ඉතිං කොච්චර හොඳට ඉගැන්නුවත් ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් අහන්න පටන් ගන්නේ එහෙමනම් ඒ පුංචි වයසේ දී ඒක මොනතරම් පීඩාවක් ද කියලා. ඔබ මේ ගුරු විද්‍යා පීඨයේ පුහුණුව ලබන කාලේ ඔබේ ආචාර්යවරුන් දේශනවලට ඇවිත් එහෙම පටන් ගත්තොත් ඔබට කුමක් හිතෙයිද?

මේ ගුරු වෘත්තිය කියන්නේ ජාතියක් ගොඩගන්න වෘත්තියක්. රටක අනාගතය පූර්ණ වගකීමක් තිබෙන සේවයක්. තවත් සේවාවකට කිසිවිටෙකත් දෙවැනි නොවන සේවයක්. ගුරුවරයා හා ශිෂ්‍යයා හඳුනාගැනීමේදී එදා වගේම අදත් අපේ පාසල්වල ගුරුවරයා හා ශිෂ්‍යයා අතරේ ඒ තිබෙන ගුණාත්මකභාවය, විශිෂ්ටත්වය, කැපවීම, ගෞරවය වගේම මොනතරම් දරුවන්ට අසාධාරණකම් සිදුවෙනවාද කියලා වාර්තා වෙනවා. සමහර පාසල්වල පන්තිභාර ගුරුතුමිය, නැත්නම් විදුහල්පතිතුමිය, ළමයින්ට කියනවා මට මෙහෙම ප‍්‍රශ්නයක් තිබෙනවා මේ දේ කරන්න, මේ දේ ගේන්න කියලා. සමහරවිට දරුවට ඒ දේ කරන්න පුළුවන් වෙන්න පුළුවන්, බැරිවෙන්න පුළුවන්. ඒ කියන දේ දරුවන්ට තේරෙන්න පුළුවන්, නොතේරෙන්න පුළුවන්. නමුත් ඒ දේවල් කරන්න බැරිවුණාම ඒ දරුවාට වෙනස්කම් කරන්න පටන්ගන්නවා. මේක අදත් මේ රටේ බරපතළ තත්ත්වයක්. මට දරුවෝ තුන්දෙනයි. ඒ තුන්දෙනාම ඉගෙන ගත්තේ මම වගේම පොළොන්නරුවේ පාසල්වල. 2001 මේ රටේ මහ මැතිවරණයක් තිබුණා. එදා මම නියෝජනය කළ පක්ෂය පරාජයට පත්වුණා. මගේ දරුවෝ තුන්දෙනාට මම ඉගෙන ගත්ත පාසලේ ඉගෙන ගන්න බැරිවුණා. ශිෂ්‍යයින් නෙමේ ගුරු මහත්ම මහත්මීන් නොයෙකුත් දේ කියන්න පටන්ගත්තා. පාසල් ගිහින් ඇවිත් දරුවෝ මාව අල්ලගෙන අඬන්න පටන්ගත්තා. අපිට බැහැ ඉස්කෝලේ යන්න කිව්වා. කවදාවත් මගේ දරුවෝ කොළඹ පාසල් වලට දාන්න කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් මම විපක්ෂයේ මන්ත‍්‍රී කෙනෙක් වුණාට පසුව මගේ දරුවෝ පොළොන්නරුවෙන් අස්කරලා කොළඹට ගේන්න සිදුවුණා.

බොහෝ ඈත ගම්වලින් එන මන්ත‍්‍රීවරුන් කරන වැඩක් තමයි ගමේ ඉස්කෝලෙන් තමන්ගේ දරුවන්ව ඉවත් කරගෙන කොළඹ පාසල්වලට දානවා. දිගටම අල්ලගෙන හිටියොත් ඇති. ආයිත් පැරදුණොත් එහෙම දරුවන්ට යන එන මං නැහැ. ආයිත් ඒ ළමයින්ට ඉගෙනගන්න නැතිව ප‍්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙනවා. මම මගේ ලොකුකමට කියනවා නෙමේ. මේකේ අනෙක් පැත්ත කරපු ලංකාවේ එකම දේශපාලනඥයා මමයි. මම පාර්ලිමේන්තුවට ආවේ 89දී. මම මාර්තුවල දිවුරුම් දුන්නා. මට එතකොට හිටියේ දුවලා දෙන්නා විතරයි. දුවලා දෙන්නා ඉගෙන ගත්තේ මගේ දෙමාපියන්ගේ ගමේ හොඳයි කියන, ජනප‍්‍රියයි කියලා සලකන පාසලක. මම මන්ත‍්‍රී වුණ ගමන් මගේ ළමයි දෙන්නා ඉන් අස් කරගෙන පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කළා. මම අහලා නැහැ මේ වගේ දෙයක් කළ වෙනත් අයෙක් ගැන.

අපේ මේ තිබෙන සමාජ අභියෝග තේරුම්ගන්න ඕන. ඔබ පාසලට ගියාට පස්සේ දරුවන් භාරගත්තට පස්සේ ඔබේ වගකීම හා යුතුකම ජාතියක් ගොඩනැගීම. ඒ කාර්යභාරයේදී ඔබ ඇසුරට ගන්නේ හොඳින් අධ්‍යාපනය ලබන දරුවා පමණද, හොඳ දක්ෂකම් පෙන්වන දරුවා විතරද?. එහෙනම් ඒක තමයි ඔබ කරන ලොකුම අපරාධය. අවධානයට යොමුවිය යුත්තේ දක්ෂකම් පෙන්වන දරුවා පමණක් විතරක් නෙමේ සියලු දරුවන්ට ඔබේ අවධානය යොමුකිරීම ඔබේ වගකීම බව ඔබ පෙන්වා දෙමින් මාගේ කතාව අවසන් කරනවා.

ස්තුතියි.