ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාම සදහා ඉදිරි මහා මැතිවරණයෙන් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි මහා මැතිවරණයෙන් පොහොට්ටුවට තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගත යුතු බවයි. ජනතා ප්‍රශ්න විසදීමට නම් එවැනි ශක්තිමත් රජයක් බිහි කර ගැනීම අතවශ්‍ය බව ද රණතුංග මහතා අවධාරණ කරයි.
වත්තල ආසනයේ පමුණුගම ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොට්ඨාශ බල මණ්ඩල රැස්වීමක දී රණතුංග මහතා මේ බව සදහන් කළේය. රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මහතා මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.
මෙහි දී තව දුරටත් අදහස් දැක් වු ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේ ද කීවේය.
‘යහපාලනය කියන බොරුව ගෙනෙල්ලා, රටේ මිනිසුන් ව රවට්ටලා බලයට ඇවිල්ලා මේ රටේ සෑම ක්ෂේත්රයක් ම විනාශ කළා. 2009 වන විට මේ රටේ ජාතික ආරක්ෂාව ස්ථාපිත කළා. යුද්ධය අවසන් කරලා සාමය ගෙනාවා. හැබැයි යහපාලන ආණ්ඩුව තුළින් නැවත බෝම්බ පත්තුවෙන්න ගත්තා. තමන්ගේ ආගම අදහන්න ආපු අහිංසක මිනිස්සු අමු අමුවේ මරලා දාන කොට ආණ්ඩුව ඇහැ කණ පියාගෙන හිටියා. ජාතික ආරක්ෂාව විනාශ වුණා. මහපාරවල්වල බල්ලෝ බළල්ලු වගේ වෙඩි තියලා මරන්න පටන් ගත්තා. රටේ කෘෂි කර්මාන්තය විනාශ කළා. පරිසරය විනාශ කළා. අද මුළු රටටම ප්‍රශ්නයක් වෙලා තියෙන පානීය ජල ප්රශ්නය උග්‍ර වුණේ මේ පරිසර විනාශයත් එක්කයි. රටේ ආර්ථිකය කඩන් වැටුණා. ජනතාවට ලැබුණ සහානාධාර නැති වුණා. ජනතාව යහපාලන බොරුව තේරුම් ගත්තා.
පළාත් පාලන මැතිවරණයේ දී බොහෝ දෙනෙක් කිවුවා එකතු වෙලා තරග කරොත් අපිට හොදයි කියලා. මම ඒකට විරුද්ධ වුණා. අපි පළාත් පාලන මැතිවරණය පොහොට්ටුවෙන් තනිවම ඉල්ලුවා. අපිට බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ පක්ෂය ස්ථාපිත කරලා අපට දේශපාලනය කරන්න අවශ්‍ය පසුබිම හදලා දුන්නා. එදා පළාත් පාලන මැතිවරණයෙන් එකතු වෙලා ඉල්ලුවා නම් මෙච්චර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් අපිට ලැබෙන්නේ නෑ. අපි තනිවම ඉල්ලලා ලංකාවේ වැඩිම මන්ත්‍රීවරුන් දිනා ගත්තා. ඒක අපේ පළමු ජයග්‍රහණයයි.
ජනාධිපතිවරණයේ දී අපිට විවිධ ප්‍රශ්න ආවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා මහින්ද මහත්තයව ඉල්ලන්න බැරි තැනට පත් කළා. හැබැයි අපි පක්ෂයක් විදිහට ස්ථාපිත වෙලා තිබුණ නිසා අපිට පොහොට්ටුවෙන් ඉල්ලලා අපේ අපේක්ෂකයා දිනවන්න හැකි වුණා. අපි පළාත් පාලන මැතිවරණයත්, ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කළ බව ඇත්ත. ඒත් රට ඉදිරියට ගෙන යන්න මේක ප්‍රමාණවත් නෑ. ඒක අපිට තේරුණේ පරිපූරකය ඉදිරිපත් කරපුවාම. පරිපූරකය ඉදිරිත් කරපුවාම එක්සත් ජාතික පක්ෂය කකුලෙන් ඇද්දා. 2019 දෙසැම්බර් 31 වන විට වැඩ කරපු මිනිසුන්ගේ බිල් ආණ්ඩුව ගෙවලා තිබුණේ නෑ. ඒ නිසයි අපි පරිපූරකයක් දැම්මේ. ඉදිකිරිම්වල ගෙවීම් හා විශ්‍රාමිකයන්ට ගෙවන්න තියෙන හිග මුදල් ගෙවන්නයි අපි පරිපූරකය දැම්මේ. නමුත් එක්සත් ජාතික පක්ෂය ඒකට ඉඩ දුන්නේ නෑ. මේ විදිහට කකුලෙන් ඇද්දම රටක් ඉදිරියට ගෙනියන්නේ කෙහොමද ? ඒකයි ගෝඨාභය මහත්තයයි, මහින්ද මහත්තයයි කියන්නේ ශක්තිමත් ආණ්ඩුවක් හදන්න සහාය දෙන්න කියලා.
සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වේ ජනාධිපති වුණොත් වාහන ගන්නේ නෑ. ගෙවල් ගන්නේ නෑ. හැබැයි විපක්ෂ නායක වුණු ගමන් සජිත් වාහන ටිකත් ගත්තා. නිළ නිවාසයත් ගත්තා. ජනාධිපතිවරණ කාලෙ නම් කිව්වා රෑට රෑට හොරෙන් එනවා කියලා සතුටින් ද කියලා බලන්න. දැන්නම් එනවාද මම දන්නේ නෑ. කියන තරමක් බොරු කියලයි සජිත් බලයට එන්න හදන්නේ. දෙමළ ඩයස්පෝරාව එක්ක එකතු වෙලා බලය ගන්න දගලපු සජිත්ලට ආපහු බලය දෙන්න මේ රටේ ජනතාව සුදානම් නෑ. පක්ෂයේ ලකුණවත් දාගන්න බැරි සජිත් කොහොමද ආණ්ඩු බලය ගන්නේ. පක්ෂයේ නායකත්වය ගන්න බැරි සජිත් අගමැතිවන බව කීම තරම් විහිළුවක් තවත් නෑ. සජිත්ලා සමගි ආණ්ඩු ගහන්න හදන්නේ ර්ෂාඩිලා එක්ක, TNA එකත් එක්ක. ඒවට මේ රටේ ජනතාව ඉඩ තියන්නේ නෑ.
මේ රටේ අනන්‍යතාවය අභිමානය රැකෙන්නේ ඉදිරි මහා මැතිවරණයෙන් පොහොට්ටුව දිනෙව්වොත් විතරයි. අද ජනතාව මුහුණ දෙන ගැටළු වලට විසදුම් ලැබෙන්නේ ශක්තිමක් ආණ්ඩුවක් පිහිටෙවුවොත් විතරයි. හැමෝම අහනවා අපි කොහොමද තරග කරන්නේ කියලා. අපි තරග කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහෙට්ටුව ලකුණින්. මේක හරි තීරණත්මකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු වෙලා ඉන්නවා. ඒක හොදයි ද නරකයි ද කියලා තීරණය කරන එක ඔබට බාරයි.
ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මහතා ද මෙහි දී කථා කළේය.