පළාත් පාලනය Hot කරපු රටම කතාවෙන වාර්තාවක් තියපු අනුරපුරේ පුංචි කෙල්ල මෙන්න…

පළාත් පාලනය Hot කරපු රටම කතාවෙන වාර්තාවක් තියපු අනුරපුරේ පුංචි කෙල්ල මෙන්න…
Spread the love

ලංකාවේ ළාබාලතම පළාත් පාලන නියෝජිතවරිය ලෙස පසුගියදා 10දා පැවැති පළාත් පාලන මැතිවරණයට තරග කරමින් දිවයිනේ ළාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙස වාර්තා පොත් අතරට යාමට අනුරාධපුරයේ පදිංචි විසිඑක් හැවිරිදි සචිනි නිමේශා කාරියවසම් මෙනවිය පසුගියදා සමත් වූවාය. 

(පොහොට්ටුවෙන්) අනුරාධපුර නගර සභාව සඳහා තුන්වන පියවර, සිරිමෙවන් උයන කොට්ඨාසයෙන් තරග කළ සචිනි නිමේශා ඡන්ද 918ක් ලබා, එම කොට්ඨාසය තරග කළ අනිකුත් අපේක්ෂකයන්ට වඩා වැඩි ඡන්ද 272ක් ලබාගෙන ජයග්‍රහණය කිරීමට සමත් වූවාය.

සචිනි, ඔබේ පවුලේ විස්තර මුලින් කිව්වොත්?

මගේ පියා දුර බැහැර පොලිස් ස්ථානයක පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කරනවා.  මව රජයේ රැකියාවක් කර විශ්‍රාම සුවයෙන් කාලය ගත කරනවා. මම පවුලේ වැඩිමලා,  මට නංගි සහ මල්ලියෙක් ඉන්නවා. තවම ඒ අය ඉගෙන ගන්නවා.

මව හෝ පියා දේශපාලන තනතුරු දරා තිබෙනවාද?එම නිසා ඔබ දේශපාලනයට පැමිණියාද?

මව හා පියා රජයේ රැකියා තමයි කළේ, දේශපාලන තනතුරු දැරුවෙ නෑ. 

 

අධ්‍යාපන කටයුතු කොතරම් දුරට හදාරා තිබෙනවද?

විශේෂයෙන් මතක් කරන්න ඕන කුඩා කල සිට මම ඉගෙනගත් පාසල, අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසලෙන් තමයි මම ඉගෙන ගත්තේ. මා විශිෂ්ට ලෙස  අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රවේශය  බලාපොරොත්තුවෙන් සිටිනවා.

නගර සභාවේ ක්‍රියාකාරී මන්ත්‍රී ධුරයක් ලබා නායකත්වයක් ගෙන, ගමට  කොට්ඨාසයට වැඩක් කළ හැකිද?

පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙස කටයුතු කළා. ගමේ ක්‍රීඩා සමිතියේ ලේකම් ධුරය දැරුවා. අපේ ගමේ ආගමික වැඩසටහන්, දන්සැල්, අවුරුදු උත්සව වැනි පොදු කටයුතුවලදී මූලිකත්වය ගෙන ක්‍රියාකාරීව වැඩ කරනවා. ඒ නිසා නායකත්වයට බියක් දැනෙන්නෙ නෑ. උගත් බුද්ධිමත් පිරිසගේ සහයෝගය, අවවාද නිරන්තරයෙන් මට ලැබෙනවා.

 

නගර සභාවේ මන්ත්‍රීවරියක් වෙලා ගම වෙනුවෙන් මොනවද කරන්නේ?

මන්ත්‍රී ධුරය ලැබෙන්න පෙර සිටම අපි පදනමක් පිහිටවලා කොට්ඨාසයේ ජනතාවගේ ගැටලු හඳුනාගෙන, ගමේ පොදු වැඩ  කටයුතු  සඳහා ක්‍රියාකාරීව වැඩ  කරනවා. ක්‍රියාකාරී මන්ත්‍රී ධුරයක් ලැබුණොත් එය ගොඩක් පිටුවහලක් වෙයි ගමේ අයට වගේම කොට්ඨාසයේ පිටටත් වැඩ කරන්න.

ඡන්ද ව්‍යාපාරයේ නිරත වනවිට ගමේ අයගේ දායකත්වය හා අමතක නොවන සිදුවීම් එහෙම තිබෙනවාද?

සමහර අම්මලා,  අක්කලා, නංගිලා, සිප වැලඳ ගත්තා මාව, මම ඡන්දය ඉල්ලන සතුටට. ඒ අය නිරන්තරයෙන් කියා සිටියේ තරුණ උගත් ළමයෙක් ඡන්දය ඉල්ලන එක සතුටුයි කියලා. එම නිසා මම තව තවත් ධෛර්යමත් වුණා.

මෙම කොට්ඨාසයේ අනෙකුත් ඡන්දය ඉල්ලපු අපේක්ෂකයන් ඔබට අභියෝගයක් වුණාද?

අපොයි ඔව්. ලොකු අභියෝගයක් තිබුණා. අනෙක් ප්‍රධාන පක්ෂ තුනේ අය දැනගෙන හිටියා මම ජයග්‍රහණය කරනවා කියලා. අපේ කොට්ඨාසයේ එම පක්ෂ තුනේ අය එකතු වෙලා වැඩ කළා මාව වට්ටන්න. සමහරු ප්‍රචාරයක් ගෙන ගියා ළදරු දේශපාලනය කියලා. මාව මානසිකව වට්ටන්න ගොඩක් අය උත්සාහ කළා. පැහැදිලිවම අනෙක් අයගේ දේශපාලන ක්‍රියාකාරකම් මට ආශිර්වාදයක් වෙලා ඒ අයගේ ඡන්ද මට ලැබුණා. බොරු පැමිණිලි පොලීසියට දීලා පොලීසිය ඇවිත්  වත්තෙ තිබුණු කටවුට් පවා ගලවගෙන ගියා. මගේ දෙමවුපියන් ගමේ ජනතාව සමග තිබූ බැඳීම සහෝදරත්වය තමයි මේ ජයග්‍රහණයට ප්‍රධානම හේතුව වුණේ.

ඡන්දය දිනලා කියලා දැනගත්තහම මොනවද දැනුණේ? මුලින්ම කාටද ඒ ගැන කිව්වෙ?

ඡන්දය ගණන් කරන මධ්‍යස්ථානයක තමයි මම හිටියේ. එම මධ්‍යස්ථානයේ ඡන්දය ගණන් කළාට පස්සේ මම දැනගත්තා එම ඡන්ද මධ්‍යස්ථානයේ දී මම ජයග්‍රහණය කර තිබෙන බව. තවත් තැනක දැනගත්තා මට ඡන්දය වැඩියි කියලා. පසුව දැනගත්තා කොට්ඨාසයේම මම ජයග්‍රහණය කර තිබෙන බව. මගේ සතුට තවම පිටකරගන්න බැහැ. 

පළාත් පාලන මැතිවරණය තරග කරලා ජයග්‍රහණය කළ ළාබාලම කාන්තාව කියලා දැනගෙන ඉහළ පෙළේ පක්ෂ නායකයන් කතා කළාද?

නැහැ කතා කළේ නෑ. මම හිතන්නේ ඒ අය එහෙම දෙයක් දන්නේ නැතුව ඇති.

ජීවිතේ පළමු වතාවට ළාබාල තරුණියක් ලෙස පරිණත දේශපාලනඥයන්  සමග නගර සභාවේ එකට වැඩ කටයුතු කරන්න සූදානම් ද?

ඒ පරිණත අයත් ගොඩක් හිතවත් වේවි කියලා මම හිතනවා.

අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ ?

මා ඉහත මතක් කළ අයට අමතරව ගමේ මගේ යාළුවන්, නෑදෑයන්, ප්‍රදේශයේ සිටින ගුරුභවතුන් මට ගොඩක් උදව් කළා. විශේෂයෙන් කිව යුතුයි මේ කොට්ඨාසය හා ඉන් පිටත තරුණ පිරිස් ගොඩක් කැප වෙලා ඡන්ද ප්‍රචාරක වැඩවල නිරත වුණා. අම්මගෙ යාළුවො  උදව් කළා. ගමේ බොහෝ අය හිටියා පරම්පරාවෙන් කැපුවත් නිල්, කැපුවත් කොළ, රතු කියලා. එවැනි බොහෝ පිරිසක් ජීවිතයේ ප්‍රථම වරට ඒ අය මම නිසා පක්ෂය මාරු කරලා මේ පාර මට ඡන්දය දුන්නා. මම ඒ අයටත් හිස නමා ආචාර කරනවා.  නම් කියූ, නොකියූ සියලුම දෙනාට ස්තුතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.