පළාත් සභා පරණ මනාප ක්‍රමයටමයි

පළාත් සභා පරණ මනාප ක්‍රමයටමයි
Spread the love

ලබන වර්ෂය අවසන් වෙද්දී පැවැත්වීමට නියමිත පළාත් සභා සියල්ලෙහි මැතිවරණය පැරණි මනාප ක්‍රමය යටතේ පවත්වන ලෙස ලබන 24 දා පැවැත්වෙන සීමානිර්ණ වාර්තාව පිළිබඳ විවාදයේදී පක්ෂ ගණනාවක් ඉල්ලා සිටීමට තීරණය කර ඇත.
2019 දෙසැම්බර් 31 දා ට පෙර පැවැත්වීමට නියමිත සියලු පළාත් සභා මැතිවරණ පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බව පක්ෂ නායකයන් බොහෝමයක ගේ අදහස බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අප කළ විමසිමක දී සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පැවැත්වීම සඳහා ලබන 24 දා පැවැත්වෙන සීමානිර්ණ කොමිෂන් සභා වාර්තාව තුනෙන් දෙකකින් සම්මත කර ගත යුතුය. එම නිසා පැරණි පනතට සංශෝධනයක් ගෙනවිත් මෙම මැතිවරණ පමණක් පැරණි මනාප ක්‍රමයට පවත්වා ඉන් පසු පැවැත්වෙන මැතිවරණ නව ක්‍රමයකට පැවැත්වීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවට මෙහිදී 16 කණ්ඩායම යෝජනා කරන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණ (සංශෝධන) නව පනත අනුව සීමා නිර්ණ කොමිෂන් සභා වර්තාවද තුනෙන් දෙකක වැඩි ඡන්ද සංඛ්‍යවකින් සම්මත විය යුතු බවට වගන්තියක් පවතියි. එම නිසා පැරණි ක්‍රමයට මෙම ඡන්දය පවත්වා ඉදිරියේදී නව ක්‍රමයට මැතිවරණය පැවැත්වෙනු ඇතැයි ද ඒ මහතා කීවේය.

ලබන 24 දා සීමානිර්ණ වාර්තාව පිළිබඳ විවාදය තුනෙන් දෙකකින් සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට සිදුවන අතර එහිදී සුළු සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙන බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීම තුළ පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්විය හැකිවේ. ඒ අනුව පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට බොහෝ ඉඩ කඩ ඇති බවත් එය ජනවාරි මාසයේදී පළමු සතියේදී පැවැත්වෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නැගෙනහිර, සබරගමුව හා උතුරු මැද පළාත් සභාවන්හි නිල කාලය ඉකුත් වසරේ අවසන් වූ අතර වයඹ, මධ්‍යම හා උතුරු පළාත් සභාවන් හි නිල කාලය ලබන මාසයේ දී අවසන් වේ. දකුණු පළාත් සභාවේ නිල කාලයද ලබන වසරේ මුල අවසන් වීමට නියමිතය. ජනවාරි මාසයේදී මැතිවරණය පැවැත්වුවහොත් 2018 ඡන්ද හිමි නාම‍ලේඛනය යටතේ මැතිවරණය පැවැත් වෙනු ඇත.