පළාත් සභා මැතිවරණය ගැන හැකි ඉක්මණින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීන්දුවක් ගන්න

පළාත් සභා මැතිවරණය ගැන හැකි ඉක්මණින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීන්දුවක් ගන්න
Spread the love

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්, හැකි ඉක්මණින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීන්දුවකට පැමිණෙන ලෙස ඉල්ලමින් පැෆරල් සංවිධානය කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ඡන්ද බලය භාවිත කර නියෝජිතයන් පත්තර ගැනීමට ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය වීම හේතුවෙන් ජනතා විශ්වාසය බිඳ වැටිම රටක යහපැවැත්මට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලටද මරු පහරක් එල්ල කරන බව පැෆරල් සංවිධානය සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

විවිධ අවස්ථාවලදී මැතිවරණ කල්දැමීම හරහා රටක් ලෙස ඕනෑවටත් වඩා අනිසි ඵලවිපාකවලට මුහුණ දී ඇති බැවින් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවන පරිදි ජනතා අභිලාෂයන් ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථා සැලසීම රජයට අයත් ප්‍රමුඛ වගකීමක් බවත් එම සංවිධානය පෙන්වා දී තිබේ.

එබැවින් හැකි ඉක්මණින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා දැනට හඳුනාගෙන ඇති අඩුපාඩුකම්වලට පිළියම් යොදමින් ඒ ගැන තීන්දුවක් ගත යුතුව ඇති බවත්, මැතිවරණ පවත්වන්නේ පැරණි ක්‍රමයටද යන්න ගැන නිශ්චිත තීන්දුවක් ගත යුතුව ඇති බවත් පැෆරල් සංවිධානය පවසා ඇත.

ඒ තුළින් ජනතා පරමාධිපත්‍ය බලය සුරක්ෂිත කරදීමට කටයුතු කරන ලෙසත් පැෆරල් සංවිධානය එමගින් කථානාකවරයාගෙන් ඉල්ලා තිබේ.