පළාත් සභා 7ක ඡන්දය ජනවාරියේ තියන්න පුළුවන්… අලුත් විදිහටද පරණ විදිහටද තීරණය ලබන බදදා

පළාත් සභා 7ක ඡන්දය ජනවාරියේ තියන්න පුළුවන්… අලුත් විදිහටද පරණ විදිහටද තීරණය ලබන බදදා
Spread the love

මධ්‍යම සහ ඌව හැර සෙසු පළාත් සභා හතේ මැතිවරණය ජනවාරි මාසයේ පැවැත්වීමට හැකියාව ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේ පැවැති පක්‍ෂ නායක රැස්‌වීමේදී පවසා ඇත.

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වනවාද නැත්නම් නව ක්‍රමයට පවත්වනවාද යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා ලබන බදාදා (01) යළි පක්‍ෂ නායකයන් රැස්‌විය යුතු බවද අගමැතිවරයා මෙහිදී පක්‍ෂ නායකයන්ට දැනුම් දී තිබේ.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්‍ෂ නායක රැස්‌වීම ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

ඉදිරි ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කුමන ක්‍රමයක්‌ යටතේ හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවද අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභාවල නිල කාලය මේ වන විට අවසන්ව ඇති අතර මධ්‍යම, වයඹ, උතුරු පළාත් සභාවන්හි නිල කාලය ලබන සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය. දකුණු පළාත් සභාවේ නිල කාලයද ලබන වසර මුල අවසන්වේ.

එබැවින් එම පළාත් සභා හතෙහිම මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතී.

මධ්‍යම සහ ඌව පළාත් සභා දෙක හැර අනෙක්‌ පළාත් සභාවල ඡන්දය ලබන ජනවාරියේ පැවැත්වීමට හැකි බවද අගමැතිවරයා මෙහිදී පක්‍ෂ නායකයන්ට දන්වා ඇත.

එම නිසා මේ සම්බන්ධව පක්‍ෂ නායකයන් තීරණයක්‌ ගත යුතු බවත් ඉදිරි පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය සහ පවත්වන කාලය සම්බන්ධව තීරණය කිරීමට ලබන බදාදා නැවත රැස්‌විය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

මෙම පක්‍ෂ නායක හමුවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන මහතාද සහභාගි වී ඇති අතර, අනුර කුමාර දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, ෆයිසර් මුස්‌තාපා, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, ඩග්ලස්‌ දේවානන්ද, රවුෆ් හකීම් යන මැති ඇමැතිවරුන්ද සහභාගි වී තිබේ.