ඒකාබද්ධ විපක්‍ෂය මඟින් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එජාපයේ පූර්ණ සහයෝගය ලබා ගත් රනිල් වික්‍රමසිංහ මහතා, වසර 20 තිස්සේ සිදුකළ ආකාරයටම මෙවරත් තමන් රැවැටීමකට පත් කර ඇතැයි එජාප පසුපෙළ මන්ත්‍රිවරු පිරිසක් ජාතික පුවත්පතක් වෙත ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
පක්ෂයේ සියලුම තනතුරු සඳහා විවෘත ඡන්දයක් පවත්වන බවට එකඟ වූ එජාප නායකයා දැන් තම ගජමිතුරු පිරිස සමඟ එක් වී එජාප නායකත්වය හැර සෙසු තනතුරු සඳහා සුදුස්සන් පත් කිරීම ලොකුම විහිළුව වී ඇතැයි ඔවුහු පෙන්වා දෙනවා.
පසුගිය මාර්තු 29 වැනි දින සිරිකොත මූලස්ථානයේ පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පක්‍ෂයේ සියලුම තනතුරු සඳහා නව නිලධාරීන් පත් කර ගැනීමට එකඟ වූ රනිල් වික්‍රමසිංහ මහතා, විශ්වාසභංග යෝජනාව පරාජය කළ පසුව මේ එන්නට හදන්නේ මොකාට දැයි යන්න පිළිබඳ තමන් දැඩි අවධානයෙන් පසුවන බවද ඔවුහු සඳහන් කරනවා.
එජාප පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම අප්‍රේල් 30 වැනි දිනට පෙර මීළඟට ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාව වනුයේ රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් පමණක් නොව අග්‍රාමාත්‍ය ධුරයෙන්ද ඉවත් කිරීම බවත් ඒ සඳහා පක්‍ෂ ගණනාවක් තමන්ට සහාය ලබා දීමට මේ වන විට එකඟත්වය පළ කර ඇති බවත් ඔවුහු සඳහන් කරනවා.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එම තනතුර දැරුවද එජාපයේ බහුතරයක් මන්ත්‍රිවරුන්ට අවශ්‍ය වී ඇත්තේ ඔහු එජාප නායකත්වයෙන් ඉවත් වී ඉදිරි මැතිවරණ සඳහා සුදුසු නායකයකු පත්කර ගැනීම බවත් පෙන්වාදෙන එජාප පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම ඔහුට තවදුරටත් එජාප නායකත්වයේ රැඳී සිටීමට නොහැකි වන ආකාරයේ තීන්දුවක් ගැනීම පිණිස සෙසු පක්‍ෂවල සහායද ලබා ගන්නා බව පවසනවා.
එජාප නායකත්වයේ රැඳීසිටීමට රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී ඇති කාලය අප්‍රේල් 30 වැනිදායින් අවසන් කිරීමට එජාප පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම තීරණය කර ඇතැයිද ඊට පෙර ඔහු එම තනතුරින් ඉවත් නොවන්නේ නම් ඔහු තනතුරින් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට එජාප පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම මේ වන විටත් සියල්ල සූදානම් කර ඇතැයි ද එජාප නියෝජ්‍ය ඇමැතිවරයෙක් ප්‍රකාශ කරනවා.

