සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් වීමත් සමඟ මාධ්‍යය ඔස්සේ විවිධ දක්ෂතා, සුවිශේෂතා ඇති දරු දැරියන් පිළිබඳ අසන්නට දකින්නට ලැබිණ. අද අප කියන්නේ එම ප්‍රතිඵල මගින් පෙනුණු විශේෂ අවස්ථාවක් පිළිබඳවයි. එකම පවුලේ උපන්නත් එකම ආකාරයේ දක්ෂතා දක්වන අය හමුවීම දුර්ලභයි. එසේම නිවුන් දරුවන් වුවත් ඔවුන්ගේ හැකියා සමානවන අවස්ථා විරලයි. එහෙත් අපට හමුවූ මේ නිවුන් දැරියන් දෙදෙනා සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමර්ථ්‍ය නවයක් ලබාගෙන තිබීම සුවිශේෂයි. එපමණක් නොවෙයි ඔවුන් තමන් ඉගෙන ගන්නා පාසලට කීර්තියක් ගෙන දුන්නේ මුළු පාසලෙන්ම ඒ සාමර්ථ්‍ය නවයක් ලබාගෙන විභාගය සමත් වූ එකම දරුවන් දෙදෙනා ඔවුන් වන බැවිනි.
මේ අපූරු නිවුන් සොහොයුරියන් දෙදෙනා අපට හමු වන්නේ යක්කල ශ්‍රී චන්ද්‍රජෝති මහා විද්‍යාලයේ දීය. යක්කල අලුත්ගම වත්තේ පදිංචි මෙම සොහොයුරියෝ කුඩා කල සිටම අකුරු කරන්නට උපන් හපන්නියෝ වූවෝය. උපතින් මිනිත්තු පහක වෙනසකින් අක්කා නගෝ වූ මෙම දෙ සොහොරියෝ නමින් මිලින්දි පූර්ණිකා රාජපක්ෂ (අක්කා) සහ මිලිනි පූර්ණිකා රාජපක්ෂ (නංගී) නම් වෙති. පෙනුමෙන් එක සමාන වුවත් මේ අක්කා සහ නංගී ශරීර ප්‍රමාණයෙන් වෙනස්ය. වෙනත් නිවුන් දරුවන් අතරින් ඔවුන් වෙනස් වන්නේ මේ දෙදෙනා උසෙන් වෙනස්වීම නිසාය. එනමුදු මෙම දෙපළගේ දස්කම්වල නම් වෙනසක් ඇත්තේම නැත.
ලක්නාත් රාජපක්ෂ වන ඔවුන්ගේ පියා ව්‍යාපාරිකයෙකි. චාමලී ප්‍රියංකා හේවගේ වන මව ගෘහණියකි. අක්කා සහ නංගීගේ අනාගතයේ සාර්ථකත්වය උදෙසා අත්වැල් සපයන්නී ඇයයි. පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 160ක් ගත් අක්කා මිලින්දි ශිෂ්‍යත්ව විභාගය උසස් මට්ටමින් සමත් වෙද්දී මිලිනි ලකුණු 145ක් ලබා ගත්තාය. මුල සිට ම යක්කල ශ්‍රී චන්ද්‍රජෝති මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මෙම දියණියෝ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වුව ද වෙනත් පාසලකට නොගොස් දිගටම එම පාසලේම අධ්‍යාපනය ලබන්නට තීරණය කළහ.
පාසල් අධ්‍යාපනයට අමතරව කුඩාකල සිටම දහම් අධ්‍යාපනය හැදෑරූ මෙම දෙසොහොරියන් ආගමට දහමට ළැදිව තම මවුපියන්ගේ මඟ පෙන්වීම ඔස්සේ තම ජීවිත ආලෝකය කරා මෙහෙයවීම ඔවුන්ගේ ජයග්‍රහණයේ රහසයි. චන්ද්‍රජෝති විද්‍යාලයේ මෙවර පන්ති තුනකින් ළමයින් 135ක් විභාගයට ඉදිරිපත් වූ අතර ඒ සාමර්ථ්‍ය නවයක් ලබාගෙන විශිෂ්ටතම ප්‍රතිඵල ලබාගත්තේ මෙම අක්කා සහ නංගීය. ඔවුහු පාසලේ අනෙකුත් විභාගවලදී ද පන්තියේ පළමු සහ දෙවැනි ස්ථාන හිමි කර ගනිති.
අධ්‍යාපන කටයුතුවලට මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම්වලදී ද කලාප, දිස්ත්‍රික් හා පළාත් තරගවලින් ඔවුන් ජයග්‍රහණ ලබා තිබීම ද විශේෂත්වයකි. පාන්දර හතරට අවදි වීමත් කාලසටහනකට අනුව සියලු කටයුතු සිදු කිරීමත් ඔවුන්ගේ ජයග්‍රහණයේ නොසැඟවුණු හේතු සාධකයයි. පාන්දර අවදිවූ අවස්ථාවේ පටන් අධ්‍යාපනික කටයුතු මෙන්ම ආගමික කටයුතුවලත් නිරතවන මිලින්දි සහ මිලිනි මවගේ ගෙදර කටයුතු සඳහාද නොපැකිළව සහාය ලබා දෙති. උයන පිහන කටයුතු මෙන්ම ගේ දොර පිරිසුදු කිරීමේ කටයුතුවලදී ද ගෙවත්තෙහි අලංකරණ කටයුතුවලටද තම දියණියන් නොමදව සහාය ලබා දෙන බව මව අප සමඟ පැවසුවාය. උගන්වන පාඩම්වලට හොඳින් සවන් දෙමින් ගෙදර දී කිරීමට දෙන වැඩ හොඳින් ඉටුකිරීම මේ අක්කා නගෝ දෙන්නා නොකඩවා සිදු කරන්නාහ. විෂයට සම්බන්ධ අමතර පොත් පත් කියවීම මෙන්ම අක්කාට ඇතිවන ගැටලුවලදී නංගී නංගීට ඇතිවන ගැටලුවලදී අක්කාත් සහාය දෙමින් තම තමන්ගේ දැනුම සාකච්ඡා කරමින් පාඩම් කිරීම ද ඔවුන්ගේ ජයග්‍රහණයේ තවත් සාධකයකි.
තම දියණියන් දෙදෙනා ඉතාම නිහඬ පිළවෙතක් අනුගමනය කරමින් තමන්ගේ කටයුතු තමන්ම කරගන්නා බව ඔවුන් ගේ මව පවසන්නීය. උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරීමට සූදානමින් සිටින මිලිනි සහ මිලින්දි ප්‍රතිඵල නිකුත් වීමට පෙර සිටම තම ප්‍රතිළුලය පිළිබඳ විශ්වාසයෙන් සිටියහ. තම ජයග්‍රහණය ගැන මිලින්දි සහ මිලිනි පාසලේ වර්තමාන විදුහල්පතිතුමා සහ සමස්ත ආචාර්ය මණ්ඩලට දීර්ඝ කාලයක් ශ්‍රී චන්ද්‍රජෝති මහා විද්‍යාලයේ විදුහල්පතිව කටයුතු කළ තෝරපිටියේ ආනන්ද නායක හිමියන්ටත් දෙමවුපියන්ටත් ස්තුතිවන්ත වෙති.