බඩගෝස්‌තරවාදී දේශපාලනය නිසා මම ඉන්නේ කලකිරිලා

Spread the love

වත්මන් ජරාජීර්ණ දේශපාලනය පිළිබඳව තමා ඉන්නේ කලකිරීමෙන් යෑයි වනජීවී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා  ඊයේ (12 ) ප්‍රකාශ කළේය.
 
 ඒකාබද්ධ විපක්‍ෂය මේ මොහොතේ සභාග ආණ්‌ඩු පිහිටුවීම පිළිබඳව කතිකාවතක සිටියත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වන තුරුත් ඒ පිළිබඳව කිසිවක්‌ ප්‍රකාශ කර නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
 
 බඩගෝස්‌තරවාදී දේශපාලනය නිසා සභාග ආණ්‌ඩු පිහිටුවීමට කතා කළත් කිසිවකු රටේ සැබෑ ප්‍රශ්න තේරුම්ගෙන ක්‍රියාකරන ආකාරයක්‌ පෙනෙන්නට නැතැයි ද ඔහු කීවේය.
 
 කෙසේ වෙතත් රට ගැන නොසිතා කරන ක්‍රියා සහ දේශපාලනඥයන්ගේ බලය වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ පිළිබඳව කිසිදු විශ්වාසයක්‌ තැබිය නොහැකි බව ද කී තෙවරප්පෙරුම මහතා ජනතාව නිවැරදි තීන්දු තීරණ ගන්නේ නම් කිසිදා පසුතැවිලි ඇති නොවන බව ද කියා සිටියේය.
 
 වත්මන් ජරාජීර්ණ දේශපාලන වටාපිටාව පිළිබඳව තමා අතිශයින්ම කලකිරී සිටින බවත් බොහෝ මැති ඇමැතීන් ද තමාගේ මතය පිළිගන්නා බවත් කී හෙතෙම අද මේ පවතින දේශපාලන වටපිටාව පිළිබඳව කිසිවකු තෘප්තිමත් නොවන බව ද සඳහන් කළේය.
 
 කෙසේ වෙතත් පවතින තත්ත්වය වෙනස්‌ කර රට යහමඟට ගැනීමේ වගකීම දේශපාලනඥයා වැඩි වශයෙන් භාරගත යුතු බවත් රටේ ජනතාව ඒ වෙනුවෙන් ඉදිරියේදී බුද්ධිමත් තීන්දු තීරණ ගත යුතුව ඇතැයි නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා වැඩිදුරටත් කියා සිටියේය.