බඩගෝස්‌තරවාදී දේශපාලනය නිසා මම ඉන්නේ කලකිරිලා

බඩගෝස්‌තරවාදී දේශපාලනය නිසා මම ඉන්නේ කලකිරිලා
Spread the love

වත්මන් ජරාජීර්ණ දේශපාලනය පිළිබඳව තමා ඉන්නේ කලකිරීමෙන් යෑයි වනජීවී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා  ඊයේ (12 ) ප්‍රකාශ කළේය.
 
 ඒකාබද්ධ විපක්‍ෂය මේ මොහොතේ සභාග ආණ්‌ඩු පිහිටුවීම පිළිබඳව කතිකාවතක සිටියත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වන තුරුත් ඒ පිළිබඳව කිසිවක්‌ ප්‍රකාශ කර නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
 
 බඩගෝස්‌තරවාදී දේශපාලනය නිසා සභාග ආණ්‌ඩු පිහිටුවීමට කතා කළත් කිසිවකු රටේ සැබෑ ප්‍රශ්න තේරුම්ගෙන ක්‍රියාකරන ආකාරයක්‌ පෙනෙන්නට නැතැයි ද ඔහු කීවේය.
 
 කෙසේ වෙතත් රට ගැන නොසිතා කරන ක්‍රියා සහ දේශපාලනඥයන්ගේ බලය වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ පිළිබඳව කිසිදු විශ්වාසයක්‌ තැබිය නොහැකි බව ද කී තෙවරප්පෙරුම මහතා ජනතාව නිවැරදි තීන්දු තීරණ ගන්නේ නම් කිසිදා පසුතැවිලි ඇති නොවන බව ද කියා සිටියේය.
 
 වත්මන් ජරාජීර්ණ දේශපාලන වටාපිටාව පිළිබඳව තමා අතිශයින්ම කලකිරී සිටින බවත් බොහෝ මැති ඇමැතීන් ද තමාගේ මතය පිළිගන්නා බවත් කී හෙතෙම අද මේ පවතින දේශපාලන වටපිටාව පිළිබඳව කිසිවකු තෘප්තිමත් නොවන බව ද සඳහන් කළේය.
 
 කෙසේ වෙතත් පවතින තත්ත්වය වෙනස්‌ කර රට යහමඟට ගැනීමේ වගකීම දේශපාලනඥයා වැඩි වශයෙන් භාරගත යුතු බවත් රටේ ජනතාව ඒ වෙනුවෙන් ඉදිරියේදී බුද්ධිමත් තීන්දු තීරණ ගත යුතුව ඇතැයි නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා වැඩිදුරටත් කියා සිටියේය.