ඉස්ලාමීය උත්සවයක් පවත්වා විවාහ වූ යුවළකට නීත්‍යනුකූලව දික්කසාද විය හැකි බවට මින් වසර දෙකකට පෙර බ්‍රිතාන්‍ය අධිකරණයක් ලබා දුන් තීන්දුවක් අවලංගු කරමින් ඉහළ අධිකරණයකින් තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ.
නඩුව ගොනු කළ යුවළ පැවැත් වූ ඉස්ලාමීය “නිකා” උත්සවය ඉංග්‍රීසි විවාහ නීතියට අයත් බව මහාධිකරණය 2018 දී තීන්දු කළේය.
නමුත් අභියාචනාධිකරණය දැන් පවසන්නේ, එය “පිළිගත නොහැකි” නීත්‍යනුකූල නොවන උත්සවයක් බවය.
ඔවුන්ගේ අභිප්‍රාය සිවිල් උත්සවයක් පැවැත්වීම හෙයින්, ඉස්ලාමීය විවාහය එක්සත් රාජධානිය තුළ නීත්‍යනුකූල නොවන බව ඔවුන් දැන සිටිය යුතු යැයි විනිසුරුවරු පැවසූහ.
මුල් අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිපති ක්‍රියා කළේය.
දරුවන් හතර දෙනෙකු සිටින නස්රීන් අක්තර් සහ මොහොමඩ් ෂබාස් ඛාන්ගේ දික්කසාද නඩුව මෙම තීරණයට පදනම් වී තිබේ .
මෙම යුවළ 1998 දී බටහිර ලන්ඩනයේ පිහිටි අවන්හලකදී ඉමාම්වරයෙකු සහ අමුත්තන් 150ක සහභාගීත්වයෙන් ඉස්ලාමීය විවාහ උත්සවයක් පවත්වා ඇති නමුත් සිවිල් උත්සවයක් පවත්වා නොමැත. නමුත්, එය එසේ නොවන බව නස්රීන් අක්තර් නැවත නැවතත් පවසන්නීය.
ඔවුන් 2016 දී වෙන් වූ අතර, මොහොමඩ් ෂබාස් ඛාන් මීට වසර දෙකකට පෙර තම බිරිඳ ඉදිරිපත් කළ දික්කසාද පෙත්සම අවහිර කිරීමට උත්සාහ කළේ ඔවුන් නීත්‍යනුකූලව විවාහ වී නොමැති බව පවසමිනි.
‘ෂරියා නීතිය පමණයි’
දික්කසාද ඉල්ලුම් පත්‍රය මෙන් ම ඉස්ලාමීය ඇදහිල්ලට අනුව සිදු කළ විවාහය ද වලංගු වන අතර, එක්සත් රාජධානියේ නීතියට අනුව විවාහ වූ අනෙක් අයට මෙන් තමන්ට ද නෛතික රැකවරණය හිමි විය යුතු යැයි නස්රීන් අක්තර් තර්ක කළාය.
ඇයගේ දික්කසාද නඩුව මහාධිකරණ පවුල් නඩු අංශයේ විභාග කර අවසන් වූ පසු 2018 අග භාගයේදී ලිඛිත තීන්දුවක් ප්‍රකාශ කර තිබිණි.

බ්‍රිතාන්‍ය විවාහ ගිවිසුමක අපේක්ෂාවන් හා සමාන දිවුරුම්වලින් ඔවුන් විවාහ වී ඇති අතර, ලෝකය ඉදිරියේ සැමියා සහ භාර්යාව ලෙස පෙනී සිටීමත් නිසා නස්රීන් අක්තර්ගේ තර්කය නිවැරදි යැයි විනිසුරුවරයා එහිදී තීන්දු කළේය.
මෙම විවාහය සිදු වූයේ “ෂරියා නීතිය යටතේ පමණක්” යැයි මොහොමඩ් ෂබාස් ඛාන් තර්ක කළද, එය 1973 විවාහ පනතට අයත් විවාහයක් යැයි විනිසුරුවරයා පැවසීය.
ඒ අනුව, නස්රීන් අක්තර්ට විවාහය අහෝසි කිරීමේ නියෝගයක් ලබා ගත හැකි යැයි පැවසිණි.
නමුත්, අභියාචනාධිකරණය පසුගිය සතියේදී අදාළ තීන්දුව ආපසු හැරවූ අතර ඉංග්‍රීසි විවාහ නීතිය යටතේ මෙම විවාහය “අවලංගු” යැයි ප්‍රකාශ කළේය.
විවාහ මංගල්‍ය සඳහා විශේෂයෙන් ලියාපදිංචි කර ඇති ගොඩනැගිල්ලක නොපැවැත්වීම, සහතිකයක් නිකුත් කර නොතිබීම සහ රෙජිස්ට්‍රාර්වරයෙකු නොසිටීම යන හේතු මත එම මංගල්‍යය “සුදුසුකම් සපුරා නැති උත්සවයක්” යැයි අධිකරණය පැහැදිලි කළේය.
“අදාළ පාර්ශවයන් ඉංග්‍රීසි නීතියේ විධිවිධාන යටතේ විවාහය සිදු කර නැහැ” යැයි අභියාචනාධිකරණ විනිසුරුවරු පැවසූහ.
“සිවිල් අධිකරණ පද්ධතිය ඔවුන්ට වසා දැමීම නිසා, මුස්ලිම් සහ අනෙක් කාන්තාවන් දැනටත් දැඩි පීඩාවට පත් කරන ෂරියා ‘උසාවිවල’ පෙනී සිටින්න මේ තීන්දුව හරහා බල කිරීමක් සිදු වෙනවා,” ලාභ නොලබන සංවිධානයක් වන ‘සවුත්හෝල් බ්ලැක් සිස්ටර්ස්’හි අධ්‍යක්ෂ ප්‍රග්නා පටෙල් පැවසීය.
මුස්ලිම් යුවළ සිය ඉස්ලාමීය විවාහ උත්සවයට අමතරව නීත්‍යනුකූලව විවාහ වීමට අවශ්‍ය බව 2017 දී ෂරියා නීතිය පිළිබඳ බ්‍රිතාන්‍ය රජය සිදුකළ සමාලෝචනයකදී පැවසීය.
by bbc.com