බැඳුම්කර ජනාධිපති කොමිසම – අලුත්ම තත්වය මෙන්න….

Spread the love

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ප්‍රධාන විධායක නිලධාරී 2009 වසරේ සිට මා හඳුනනවා
– ලංකා බැංකුවේ අවදානම් කළමනාකරණ අංශයේ හිටපු ප්‍රධාන අලෙවිකරු ඡේ. ඩී. කේ. ධර්මපාල

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිහේන තමා 2009 වසරේ සිට හඳුනන බව ලංකා බැංකුවේ අවදානම් කළමනාකරණ අංශයේ හිටපු ප්‍රධාන අලෙවිකරු ඡේ. ඩී. කේ. ධර්මපාල මහතා ඊයේ (09 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

ඇක්‌විට්‌ ආයතනයේ වැඩකරන කාලයේ සිටම තමා කසුන් පලිහේනව දන්නා බවද, පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඡේ. ඩී. කේ. ධර්මපාල මහතා කීවේය.

ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු – ඩීලර් කෙනෙක්‌ ලෙස ඔබට කොපමණ කලක සිට අත්දැකීම් තිබෙනවාද?

සාක්‍ෂිකරු – වසර 19 ක පමණ සිට ස්‌වාමිනී.

ජනාධිපති නීතිඥ ප්‍රනාන්දු – බැඳුම්කර ගනුදෙනු වර්ග දෙකක්‌ තිබෙනවා. තමන් වෙනුවෙන් කරන ගනුදෙනු සහ වෙනත් ගනුදෙනුකරුවන් වෙනුවෙන් කරන ගනුදෙනු?

සාක්‍ෂිකරු – ඔව්.

ජනාධිපති නීතිඥ – පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට ලංකා බැංකුවේ ජංගම ගිණුම් දෙකක්‌ තිබෙනවා?

සාක්‍ෂිකරු – ඔව්.

ජනාධිපති නීතිඥ – එහෙත් බැඳුම්කර ගනුදෙනු වෙනම නේද කරන්නේ?

සාක්‍ෂිකරු – ඔව්. ස්‌වාමිනී.

ජනාධිපති නීතිඥ – බැඳුම්කර ගනුදෙනුවලදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ගනුදෙනුකරුවකු නොවෙයි. ගනුදෙනු පාර්ශ්වකරුවෙක්‌?

සාක්‍ෂිකරු – ඔව්.

ජනාධිපති නීතිඥ – පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ලංසු ඉදිරිපත් කිරීම වෙනුවෙන් ණය අවදානමක්‌ ගත්තෙ නෑ කිව්වා නේද?

සාක්‍ෂිකරු – එහෙම කිව්වෙ හැමවිටම රජයේ සුරැකුම් මත අදාළ ගනුදෙනු සිදුවන නිසයි. රජයේ බැඳුම්කරවල අවදානම බිංදුවයි.

ජනාධිපති නීතිඥ – මෙහිදී හැම විටම රජයේ

සුරැකුම්පත් සම්බන්ධ වෙනව නේද?

සාක්‍ෂිකරු – ඔව්.

ජනාධිපති නීතිඥ – ඒවා ණය නොවෙයි නේද?

සාක්‍ෂිකරු – ඔව්.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා (සභාපති) – අවදානමක්‌ නැති වෙන්න පුළුවන්. නමුත් කිසියම් පූර්ව එකඟතාවක්‌ ඇතිව මේ ගනුදෙනු කරන්නේ?

සාක්‍ෂිකරු – ඔව්. භාණ්‌ඩාගාර බැඳුම්කර සහ බිල්පත් සඳහා ලන්සු ඉදිරිපත් කිරීමේදී සැබවින්ම ණය අවදානම කියන එකක්‌ මතු වෙන්නෙ නෑ. ණය අවදානම ඇති වෙන්නේ ගෙවීමේ හැකියාව මතයි. මෙහිදී මතු වන්නේ පූර්ව පියවීමේ අවදානම පමණයි. වෙළෙඳ පොළේ පොලී අනුපාත ඉහළයැම මත වෙළෙඳපොළ අවදානම ඇති වෙනවා.

ජනාධිපති නීතිඥ – මේ 30 ස්‌ අවුරුදු බැඳුම්කරය සියයට 9.35 ක්‌ පමණ වෙයි කියලනෙ ඔබ සිතුවේ?

සාක්‍ෂිකරු – ඔව්.

ජනාධිපති නීතිඥ – මේ තිස්‌ අවුරුදු බැඳුම්කරයෙන් ලැබුණු ලාභය ලංකා බැංකුවට ලබාගන්න කටයුතු නොකළේ ඇයි?

සාක්‍ෂිකරු – ඒ ආකාරයේ ඉහළ පොලියකට යයි කියල අපි කිසිවිටෙකත් සිතුවෙත් නෑ. බැංකුව තීරණය කළේ නෑ මේ බැඳුම්කරයේ ආයෝජනය කරන්න. දිගුකාලීන බැඳුම්කරවල ආයෝජනය කිරීමට බැංකු අකමැතියි. හේතුව බැංකු වැඩි වශයෙන්ම තැන්පතු රැස්‌කර තිබෙන්නේ කෙටිකාලීන පදනම මතයි.

ජනාධිපති නීතිඥ – පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ඉතා විශ්වාසවන්ත ගනුදෙනුකරුවෙක්‌ කිව්වා නේද ඔබ?

සාක්‍ෂිකරු – ඔව්.

ජනාධිපති නීතිඥ – කිසිම තැනක කියල නෑ එක්‌ ප්‍රාථමික අලෙවිකරුවෙකුට වෙනත් ප්‍රාථමික අලෙවිකරුවෙක්‌ වෙනුවෙන් ගනුදෙනු කරන්න බෑ කියලා.

සාක්‍ෂිකරු – ඔව්.

ජනාධිපති නීතිඥ – මේ වෙන්දේසියෙන් පසු ලංකා බැංකුව අභ්‍යන්තර රීතියක්‌ දැම්මා වෙනත් ප්‍රාථමික අලෙවිකරුවෙක්‌ වෙනුවෙන් ලන්සු දානව නම් ඉහළ නිලධාරියෙකුගේ අවසර ගන්න ඕන කියල?

සාක්‍ෂිකරු – ඔව්. මා එසේ කීවා ස්‌වාමිනී.

ජනාධිපති නීතිඥ- ඒ කියන්නේ එසේ කරන්න පුළුවන් අවසරයක්‌ අරගෙන?

සාක්‍ෂිකරු- ඔව්.

ජනාධිපති නීතිඥ- එකම වෙනස ඉහළ නිලධාරියෙකුගෙන් අවසරයක්‌ ගත යුතු වීමයි?

සාක්‍ෂිකරු- ඔව්.

සභාපති- ප්‍රාථමික අලෙවිකරුවන්ට අදාළ රීතිවලත් වෙනත් ප්‍රාථමික අලෙවිකරුවෙක්‌ වෙනුවෙන් ලංසු ඉදිරිපත් කරන්න තහනමක්‌ නෑ.

සාක්‍ෂිකරු- ඔව්. එය මගේ පරීක්‍ෂණයට යවන ලද පිළිතුරෙන් පැහැදිලිව සඳහන් කළා.

ජනාධිපති නීතිඥ- ලංකා බැංකුව පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සමග කළ රෙපෝ ගනුදෙනුවලින් වසරක්‌ තුළ රු. මිලියන 36 ක ලාභ ලැබුවා?

සාක්‍ෂිකරු- රෙපෝ නෙවෙයි. ස්‌වැප් ගනුදෙනුවලින් රු. මිලියන 36 ක ලාභයක්‌ ලැබුවා.

මේ අවස්‌ථාවේදී ලංකා බැංකුව සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම අතර සිදුවූ ගනුදෙනුවලට අදාළ ලේඛන දෙකක්‌ ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ ලකුණු කළේය.

ජනාධිපති නීතිඥ- මම ඔබට යෝජනා කරනවා 2015.02.26 දින දක්‌වා පර්පෙචුවල් සමාගම සමග රු. බිලියන 201 ක පමණ ගනුදෙනු කළා කියලා.

සාක්‍ෂිකරු- නිහඬයි.

ජනාධිපති නීතිඥ- මීට පෙර ලංකා බැංකුව තිස්‌ අවුරුදු බැඳුම්කර ගනුදෙනු කරල තියෙනවද?

සාක්‍ෂිකරු- නැහැ.

ජනාධිපති නීතිඥ- ඔබට තිස්‌ අවුරුදු බැඳුම්කර ගනුදෙනු ගැන අත්දැකීමක්‌ නැහැ නේද?

සාක්‍ෂිකරු- ඔව්. මෙහිදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ලංසු ඉදිරිපත් කිරීමේ අතරමැදි කාර්යයක්‌ අප කළේ.

ජනාධිපති නීතිඥ- 2015.02.27 දින තිස්‌ අවුරුදු බැඳුම්කරයේ පොලිය සියයට 9.35 ට වැඩිවෙයිකියල හිතුවේ නැද්ද?

සාක්‍ෂිකරු- පදනම් අංක 20 ක 25 ක වෙනසක්‌ වෙයි කියල තමයි මම හිතුවේ.

ජනාධිපති නීතිඥ- ඔබ කොහොමද මේ සියයට 9.35 ක අනුපාතය තීරණය කළේ?

සාක්‍ෂිකරු- මීට පෙර තිස්‌ අවුරුදු බැඳුම්කර සඳහා පැවැති ද්විතීයික වෙළෙඳ පොළ අනුපාතය මතයි.

ජනාධිපති නීතිඥ- ඔබ කියන්නේ 2014 මැයි මාසයේ බැඳුම්කරය ගැනද?

සාක්‍ෂිකරු- ඔව්.

ජනාධිපති නීතිඥ- එස්‌.එම්.බී. සමාගමේ මධුර නම් මූල්‍ය වෙළෙඳ පොළ තැරැව්කරුවෙක්‌ ඔබේ දෙවැනියා වන ලසන්ත සමග කතා කිරීමේ ඇමතුමේදී බැඳුම්කර අද උඩ යන බවක්‌ සඳහන් කරනවා?

සාක්‍ෂිකරු- ඔව්.

ජනාධිපති නීතිඥ- ඒ ඇමතුම ඇවිත් තියෙන්නේ 2015.02.27 දින උදේ 9.06 ටයි?

සාක්‍ෂිකරු- ඔව්. මම හිතන්නේ මෙහෙම කියන්නේ එදින ස්‌ථාවර පොලී අනුපාතය සියයට 5 සිට සියයට 6.5 දක්‌වා වැඩි කිරීම පදනම් කරගෙන වෙන්න ඕන.

ජනාධිපති නීතිඥ- ලසන්ත ඔබට ඒක කිව්වද?

සාක්‍ෂිකරු- ලසන්ත ඒක මට පැහැදිලි කළේ නෑ.

ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන- එස්‌.එම්.බී. කියන්නේ කවුද?

සාක්‍ෂිකරු- සෙලින්කෝ මනි බ්‍රොaකර් කියන එකයි.

විනිසුරු ජයවර්ධන- එය කොයි සමාගමටද අයිති?

සාක්‍ෂිකරු- එය සෙලින්කෝ සමාගමේ අතුරු සමාගමක්‌.

ජනාධිපති නීතිඥ- මූල්‍ය තැරැව්කරුවන් වගේම ලංකා බැංකුවේ අලෙවි කාමරයත් පොලී අනුපාත ඉහළ යන බව දැනගෙන සිටියා කියල මම යෝජනා කරනවා?

සාක්‍ෂිකරු- පදනම් අංක 150 කින් විතර ඉහළ යයි කියල පිළිගන්න අපහසුයි.

ජනාධිපති නීතිඥ- ඔබේ අලෙවි කාමරයේ පර්යේෂකයන් ඉන්නවාද?

සාක්‍ෂිකරු- නැහැ. අලෙවිකරුවන් (ඩීලර්ස්‌ලා) පමණයි සිටින්නේ.

ජනාධිපති- ඔබ මහ බැංකුවත් එක්‌ක කතා කළ විට සියයට 9.35 ක මට්‌ටමේ පොලී අනුපාතය කියන එකක්‌ නෑ කියනවා නේද?

සාක්‍ෂිකරු- ඔව්. ඒත් මම හිතුවේ පොලී අනුපාතය සියයට 10 ට යටින් වදියි කියලයි.

ජනාධිපති නීතිඥ- ඔබ මහ බැංකුවේ ශ්‍රීමාලි මහත්මිය සමග කළ දුරකථන සංවාදයේදී ඇය සඳහන් කරනවා පුද්ගලික නිකුතු දෙන්න එපා කියල තියෙනවා කියලා?

සාක්‍ෂිකරු- එහෙත් පුද්ගලික නිකුතු සම්පූර්ණයෙන්ම නතර කරල තියෙන බවක්‌ කියන්නෙ නැහැ.

ජනාධිපති නීතිඥ- ඔබ දුරකථන සංවාදයේදී “ආවොත් ඇතා” කියල සඳහන් කරන්නේ කුමන අනුපාතයටද?

සාක්‍ෂිකරු- සියයට 10.25 අනුපාතය.

0 ඔබේ විශ්වාසය වුණේ සියයට 10.25 ට නොලැබෙනු ඇති බවද?

සාක්‍ෂිකරු- ඔව්.

කොමිසම යළිත් අනිද්දා (12 දා) පෙ.ව. 9.45 ට රැස්‌වේ. එදින සාක්‍ෂි ලබා ගැනීම සඳහා රජයේ විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා සහ සමාගම් රෙජිස්‌ට්‍රාර් ජනරාල් ඩී. එන්. ආර්. සිරිවර්ධන මහතා කොමිසම හමුවට කැඳවා ඇත.

[rns_reactions]