බැඳුම්කර වාර්තාවේ තැනින් තැන කුප්‍රකට රවීගේ සහ බිරිඳගේ නම්

බැඳුම්කර වාර්තාවේ තැනින් තැන කුප්‍රකට රවීගේ සහ බිරිඳගේ නම්
Spread the love

බැඳුම්කර කොමිසන් සභා වාර්තාවේ ස්ථාන 184 ක හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායකගේ නම සඳහන්ව ඇතැයි වාර්තා වනවා.

මන්ත‍්‍රීවරයාගේ බිරිඳ වන මේලා කරුණානායකගේ නම ද ස්ථාන 11ක සටහන් වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශන කළ සමයේ රවී කරුණානායක මන්ත‍්‍රීවරයා සහ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු බව කියන අර්ජුන් ඇලෝසියස් අතර සබඳතා පැවති බවටද තොරතුරු අනාවරණ වුණා.

වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමෙන් අනතුරුව එහි පිටපතක් ද මන්ත‍්‍රීවරයා විසින් ඉකුත්දා ලබාගත්තා. වාර්තාවේ පිටු කිහිපයක් අඩු බවට ද ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පාර්ශ්ව කිහිපයක් චෝදනා කරන්නේ මේ අතරතුරයි.

කෙසේ වෙතත් අදාළ වාර්තාවේ ඇතුළත් වන්නේ සත්‍ය කරුණු නොවන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක පවසන්නේ. 

 

බැඳුම්කර වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් ලබාදෙන ලෙසට ද කථානායකවරයා ඉකුත්දා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් ද කළා. විමසීමක දී ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු කියා සිටියේ වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් ලබාගැනීම සඳහා කඩිනමින් කටයුතු කරන බවයි. 

මේ අතර බැඳුම්කර වාර්තාවට අමතරව මහා පරිමාණ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ද ඉකුත්දා පාර්ලිමේන්තුවට ලබාදුන්නා. ඒ, සිද්ධීන් 34ක් පිළිබඳ සිදු කළ විමර්ශනයකට අදාළවයි. එමගින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන, මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් පී. බී. ජයසුන්දර මෙන්ම උතුරුමැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත්ට ද චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.