බැසිල් කල්ලියෙන් විමල්ට දැඩි විරෝධයක්

බැසිල් කල්ලියෙන් විමල්ට දැඩි විරෝධයක්
Spread the love
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පැවැත්වුණේ විජේරාම නිල නිවසේදීය. මෙවර පක්ෂ නායක රැස්වීම කැඳවා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම සමග කටයුතු කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමටය.  
“දහසය දෙනාගේ කණ්ඩායමක් නිර්මාණය වීම අපි ලබපු ජයග්‍රහණයක්. ඒ නිසා අපි ඒ අයට ඉහළ පිළිගැනීමක් දෙන්න ඕන කියමින් විමල් දහසයේ කණ්ඩායම පිළිගත්තේය. එහෙත් විමල්ගේ කතාවට ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් කල්ලියේ මන්ත්‍රීවරුන්ගේ වැඩි කැමැත්තක් තිබුණේ නැත.
“දහසය දෙනාගේ කණ්ඩායමේ ඉන්න ඩිලාන් පෙරේරා කියලා තිබුණා හිටපු පක්ෂ ‍ලේකම් අයින් වෙලා අලුත් පක්ෂ ‍ලේකම් කෙනෙක් පත්වීම හොදයි කියලා. ඒත් අලුත් ‍ලේකම් කියන්නේ 2020 ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී කියලයි. ඒ වගේ තත්ත්වයක් යටතේ් දහසයේ කණ්ඩායම එක්ක වැඩ කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. 
“මේ අදහස් නිසා ඒකාබද්ධය බෙදිලා කියලා කතා වෙනවා. අපි කවුරුත් අපේ මතවාද ප්‍රකාශ කරනකොට ප්‍රවේශම් වෙන්න ඕන. අපිට මොන මතවාද තිබුණත් සාකච්ඡා කරලා තීන්දු ගන්න ඕන”මහින්ද කීවේය.
“ආණ්ඩුවෙන් එළියට බැස්ස දහසය දෙනාගේ කණ්ඩායම විවිධ මත ප්‍රකාශ කරමින් යනවා. සමහරු කියන්නේ මහින්ද මහත්තයාට උදව් කරනවා කියලයි. තවත් සමහරු ‍පොහොට්ටුවේ ඡන්ද ටිකත් අරගෙන මහින්ද මහත්තයා ළඟට යනවා කියනවා. විපක්ෂයට ඇවිත් ජනාධිපතිතුමා එක්ක දේශපාලනය කරනවා නම් අපිට එකඟ වෙන්න බෑ”රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පැවැසුවේය.
“කවුරුහරි ආණ්ඩුවෙන් අයින් වෙනවා නම් ඒ අය ශ්‍රී ලංකා ‍පො.පෙ. එන්න ඕන”කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කතාවට ‍පොහොර දැම්මේය.
“දහසය දෙනාගේ කණ්ඩායමත් මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරමින් ඉන්නවා කියලා තමයි අපිට ආරංචි”මහින්ද කීවේය.
“අපි මේ බලවේගය හදාගත්තේ අමාරුවෙන්. ඒක විනාශ වෙන්න දෙන්න බෑ”රෝහිත කීවේය.
“ඒ කියන්නේ දහසය දෙනා අපි පිළිගන්න ඕන නෑ කියන එකද”විමල් වීරවංශ විමසුවේ තරමක ආවේගයෙන් යුතුවය.
“ඒ අය ප්‍රතික්ෂේප කරන්න කියලා අපි කියන්නේ නෑ”රෝහිත එයට උත්තර දුන්නේය. 
මේ සමග තරමක උණුසුම් තත්ත්වයක් ඇතිවිය.