තරුණ මවක් තම මාස පහක් වයසැති දරු සිඟිත්තා හදිසියේ අසනීප වූ නිසා වයඹ මුහුදුබඩ ප්‍රදේශයක පිහිටි එක්තරා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටය.
දරු පැටියා පෙන්වා ප්‍රතිකාර ලබාගත්තේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකගෙනි.
මේ විශේෂඥ වෛද්‍යවරිය ප්‍රධාන පෙළේ රජයේ රෝහලක සේවයේ නිරතව සිටින අතරවාරයේ සෑම සති අන්තයකම පාහේ වයඹ මුහුදුබඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය වෙත එන්නේ පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරතවීම සඳහාය.
දරුවා පරීක්ෂා කර බැලීම වෙනුවෙන් චැනල් ගාස්තුව රුපියල් 1300කි.
ඒ මුදල ගෙවා වෛද්‍ය විශේෂඥවරිය ළඟට ගොස් දරුවා පෙන්වා බෙහෙත් ලබාගෙන ඇත.
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියට පෙන්වා ලබාගත් ප්‍රතිකාරවලින් පසු සුවය ලබා ඇතත් දැන්ම දරුවා නැහැවීමට හොඳදැයි දැන ගැනීමට මවට මෙන්ම දරුවාගේ ආච්චිටද අවශ්‍යවී ඇත.
එක් දරුවෙක් පරීක්ෂාකර බැලීම සඳහා අයකරන චැනල් ගාස්තුව රුපියල් 1300කි.
නියමිත ගාස්තුව ගෙවා දරුවා පෙන්වූ පසු ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරිය බෙහෙත් නියම කළාය.
තරුණ මව දරු සිඟිත්තාද තුරුලු කරගෙන දොස්තර නෝනා හමුවීමට ගොස් තිබුණේ ඇයගේ මවද කැටිවය. ඒ කියන්නේ දරු සිඟිත්තාගේ ආච්චි අම්මාද සමගය.
ඔවුන් පදිංචිව සිටින්නේ හලාවත මාදම්පේ ඉහළගම ප්‍රදේශයේය.
රාජ්‍ය සේවයේ යෙදී සිටියදී මෑතකදී විශ්‍රාම ලැබූ දරුවාගේ ආච්චි අම්මා වූ කල්‍යාණි හේමචන්ද්‍ර මහත්මිය ඊට පසු සිදුවූ දේවල්
ගැන කීවේ මෙවැනි කතාවකි.
“මගේ දියණියගේ දරුවාගේ වයස මාස පහක් වෙනවා. අසනීප වූ නිසා චැනල් සෙන්ටර් එකකට අරගෙන ගිහින් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකට පෙන්වා බෙහෙත් අරගෙන ආවා. ඒ බෙහෙත් වලට සුවය ලබා තිබුණා. ඒත් අපි බබාව නාවන්න බයක් ඇති වුණා. ඒ හින්දා චැනල් සෙන්ටර් එකට කෝල් එකක් දීලා දොස්තර නෝනාගේ නම කියා බබාව දැන් නාවන්න හොඳද කියා දැනගන්න ඕනෑ. කවදාද එන්නේ කියා විමසුවා. බෙහෙත් අරගෙන දවස් හතක් තවම ගිහින් නැති නිසා චැනල් ගාස්තු අවශ්‍ය නැහැ ඇවිත් ඒ දොස්තර නෝනාට පෙන්වා නාවන්න හොඳද කියා දැනගන්න පුළුවනි කියා චැනල් සෙන්ටර් එකෙන් කිව්වා. අපි එදාම බබාව අරගෙන ගියා.
කල්‍යාණි හේමචන්ද්‍ර මහත්මිය මෙසේ ද කීවාය.
විශේෂඥ දොස්තර නෝනා ළඟ ඉන්න සේවිකාවක් බබාට බෙහෙත් ලියා තිබූ තුණ්ඩුවක් අරගෙන චැනල් කාමරයට ගියා. එතකොට දොස්තර නෝනා සේරම ලෙඞ්ඩු බලලා ඉවර වෙලා හිටියේ. මමයි දුවයි බබා වඩාගෙන දොස්තර නෝනාගේ කාමරයේ හිටියා.
දොස්තර නෝනා බබාට නියම කරපු බෙහෙත් වට්ටෝරුව දිහා බලලා දැන් නෑව්වාට කමක් නැහැ කියා ඒ ගොල්ලන්ට කියන්න කියා සේවිකාව එක්ක කියනවා අපටත් ඇසුණා. සේවිකාව ඇවිත් අපිට දොස්තර නෝනා කිව්ව කතාව පැවසුවා.
බබාව පරීක්ෂාකර බලා නාන්න හොඳද නැද්ද කියා කිව්වනම් නේද හොඳ කියා මම සේවිකාවට කිව්වා. සේවිකාව ඒ ගමන්ම
ගිහින් මේ බව දොස්තර නෝනාට කිව්වා. බබාව බලන්න ඕනෑනම් මගේ චැනල්
ගාස්තුව ගෙවන්න ඕනෑ කියා වෛද්‍යවරිය සාත්තු සේවිකාවට කියා තිබුණා. ඇය ඒ බව අපිත් එක්ක ඇවිත් කිව්වා. දොස්තර නෝනා කිව්ව කතාව අසා අපිට පුදුම හිතුණා. නාන්න හොඳද නැද්ද කියා අසා දැන ගන්නත් දොස්තර නෝනා චැනල් ගාස්තුව ඉල්ලීම
ගැන අපට ලොකු කනගාටුවක් ඇති වුණා. චැනල් සෙන්ටර් එකේ කිසි වරදක් නැහැ. මෙහෙමත් හිතක් පපුවක් නැති දොස්තර නෝනලාත් ඉන්නවනේ. සමහර විට ඇයත් දරුවෝ ඉන්න අම්මා කෙනෙක් වෙන්න ඇති. අපි ආයෙත් ඒ දොස්තර නෝනාව චැනල් කරන්න ගියේ නැහැ. බබාවත් අරගෙන වෙනත් දොස්තර මහත්තයෙකුට පෙන්වාගෙන ගෙදර ආවා. සමහරවිට ඒ දොස්තර නෝනා බබාට කලින් දුන්නු බෙහෙත් වට්ටෝරුව දිහා බලලා නාන්න හොඳයි කියන්න තරම් දැනුමක් අවබෝධයක් තියෙන්න ඇති. ඒත් බෙහෙත් වට්ටෝරුව බලලා නාන්න හොඳයි කිව්ව පළියට බබාව නාවන්න අපිට බයයිනේ යැයි හේමචන්ද්‍ර මහත්මිය පවසන්නීය.
සමහර වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගැන දැඩි කතාබහක් ඇතිවී තිබෙන වට පිටාවක් තුළ මේ විශේෂඥ වෛද්‍යවරියගේ ප්‍රමිතිය ගැනත් සොයා බැලුවොත් නරකද?
මිල මුදල් ගැන නොතකා අසරණ
රෝගීන්ට පිහිටවන වෛද්‍යවරුන්ද ඕනෑතරම් සිටින බව අපි කිසිසේත් අමතක නොකළ යුතු වන්නෙමු.
එවැනි උතුම් වෛද්‍යවරුන්ට අපේ ප්‍රණාමය හා ගෞරවය පුද කරන්නෙමු.