බොරු සාක්‍ෂි ලබාදුන්නේ යැයි රවිට එරෙහි විමර්ශනවලට අදාළ සියළු නියෝග කොටුව මහේස්ත්‍රාත් අත්හිටුවයි

බොරු සාක්‍ෂි ලබාදුන්නේ යැයි රවිට එරෙහි විමර්ශනවලට අදාළ සියළු නියෝග කොටුව මහේස්ත්‍රාත් අත්හිටුවයි
Spread the love

බැඳුම්කර කොමිෂන් සභාව හමුවේදී බොරු සාක්‍ෂි ලබාදුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව සිදුකරන විමර්ශනවලට අදාළව සිය අධිකරණය විසින් ලබාදුන් සියලූම නියෝගයන් තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (21) නියෝග කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි අධිකරණය විසින් පසුගිය 14 වැනිදා විමර්ශනවලට සහාය දැක්‌වීමක්‌ ලෙස නිකුත් කළ එම නියෝග ස්‌ථිරව අවලංගු කරන්නේ ද යන නියෝගය ලබන 28 වැනිදා නිකුත් කිරීමට ද අධිකරණය තීරණය කල අතර ඒ සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 26 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එහිදී නීතිපතිවරයාට හා සැකකාර පාර්ශ්වයට නියෝග කළේය.

පසුගිය වසරේ අගෝස්‌තු 02 වැනිදා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභාව හමුවේදී සත්‍ය ප්‍රකාශ කරන දිවුරුම් පිට සාක්‍ෂි ලබාදෙමින් චේතනාන්විතව අසත්‍ය ප්‍රකාශ ලබාදී ඇති බවට ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ ඉදිරිපත් කොට ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සිදුකරන වැඩිදුර විමර්ශන සඳහා අධිකරණයෙන් නියෝග ලබාගෙන තිබුණි.

රවි කරුණානායක මහතාට අයත් යෑයි කියන ග්ලෝබල් ට්‍රාන්ස්‌පොටේෂන් ලොජිස්‌ටික්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෝසමක්‌ ගොනු කරමින් කළ ඉල්ලීමක්‌ අනුව එම නඩුව ඊයේ (21) කැඳවිණි. එහිදී ජනාධිපති නීතිඥවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් ලබාගෙන තිබූ නියෝගයන් පිළිබඳ නෛතික විරෝධතාවක්‌ ඉදිරිපත් කරමින් ජනාධිපති කොමිෂන් සභාවක්‌ හමුවේදී අනාවරණය වූ කරුණු මත නඩු පැවරීමේ හැකියාව නීතිපතිවරයාට ඇති නමුත් එහිදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හෝ වෙනත් විමර්ශන අංශයකට උපදෙස්‌ ලබාදීමේ නෛතික බලයක්‌ නීතිපතිවරයාට නොමැති බව සඳහන් කළේය.