”සමහර අය අපිව විහිළුවට අරගෙන”
”ඒ පිස්සුව නම් නැති වෙන්නේ නැහැ”
”රූප රචනා 150කට වඩා කරලා තියෙනවා”
“ඒවාට මට මාසෙකට ලොකු වියදමක් යනවා..”
ඕෂධී හිමාෂා නමට වඩා රූපය බොහෝ අයට සමීපයි. ඕෂධී කියන චරිතය නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් දකින්න ලැබෙනවා. ඒ ගීත රූප රචනාවලින්. නිරූපණ ශිල්පිණියක් විදිහට දකින්න ලැබෙන ඕෂධී ළඟදීම සිනමාව තුළිනුත් දකින්න ලැබෙනවා. ඇය පසුගිය දිනෙක සිය ජීවිතයේ අලුත් තොරතුරු මාධ්‍යට කියලා තිබෙනවා. ඒ මෙන්න මේ විදිහට….
නිරූපනයෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිසා ඕෂධී දැන් කාර්ය බහුල චරිතයක් වෙලා ඇති..?
මේ දවස්වල නම් මම ගොඩක් කාර්ය බහුලයි. නිරූපනයෙන් වගේම මගේ ව්‍යාපාර කටයුතු එක්ක.
සිනමාවෙන් ඔබව ළඟදීම දකින්න ලැබෙනවා. ඒ ගැන කිව්වොත්..?
මම සිනමා නිර්මාණ දෙකකට සම්බන්ධ වුණා. උදය කාන්ත වර්ණකුලසුරියගේ ”වස්සානයේ සඳ” චිත්‍රපටයට හා ”ෆේස් ටු ෆේස්” චිත්‍රපටයට. මේ නිර්මාණ දෙකම ළඟදීම තිරගත වෙයි. තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒක මැයි මාසේ රූපගත කරනවා.
සිනමාවට ප්‍රවිෂ්ඨවීමත් එක්ක ඕෂධීව රූප රචනාවලින් දකින්න නොලැබෙයි ද..?
සිනමාව කියන්නේ රංගනයට හොඳ ආරම්භයක්. මම කැමතියි සිනමාවට වැඩියෙන් එකතු වෙන්න. ඒ නිසා මේ කාල සීමාව සිනමා රංගනය සඳහා යොදවන්න මම හිතුවා. ඒ නිසා ගීත සඳහා නිර්මාණය වෙන රූප රචනාවලට සම්බන්ධ වෙන එක සිමා කළා. නමුත් සම්බන්ධ නොවී ඉන්නේ නැහැ. හොඳ නිර්මාණවලට රූප රචනාවෙන් සම්බන්ධ වෙනවා.
ඕෂධීව බොහෝදෙනා දැන හඳුනා ගත්තේ ආදරේ කළේ රූප රචනා නිසා නේද..?
ඔව්. මාව වාඩාත් සමීප වුණේ රූප රචනාවලින්. මේ වෙනකොට මම රූප රචනා 150ට වඩා සම්බන්ධ වෙලා තියෙනවා. දැන් නම් හිතෙනවා මාව දැකලම එපා වෙලා ඇති කියලා.
ඇතැම් වීඩියෝ නිසා ඕෂධී කතාබහට ලක් වුණා. ආන්දෝලනාත්මක චරිතයකට සිනමා නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත්..?
හොඳ පිටපතක් හා නිර්මාණාත්මක අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න ලැබුණොත් එවැනි අවස්ථාවක් ගැන හිතලා බලලා තීරණයක් ගන්නවා. නමුත් අපේ රටේ සදාචාරයක් තියෙනවා. ලංකාවේ ඉන්න නිසා ඒ ගැනත් හිතන්න ඕන. එහෙම බලලා මට ගැලපෙනවා නම් ඒ ගැන හිතලා බලනවා. ඒ වගේම ඇතැම් වීඩියෝ නිසා ජනතාව මට බැනලා තියෙනවා. ඔය කියන විදිහට මම ඒ වීඩියෝවල ලොකු දෙයක් කරලා නැහැ කියලයි මම නම් හිතන්නේ. මෝඩ මිනිස්සු කියන කතා විතරයි. මට බැනලා තියෙනවා මිනිස්සු, නමුත් මට ඒ නිර්මාණවලින් නරකක් වෙලා නැහැ. ඒ නිසා මට ගැටලුවක් නැහැ.
Social Media නිසා ඔබ අපහසුතාවයට පත් වෙලා කට කතාවලට ලක් වෙලා නැහැ කිව්වොත් ඒක බොරුවක් නේද..?
ඕන තරම් කට කතාවලට ලක් වෙලා තියෙනවා. සමහරක් මිනිස්සු මට ෆේස්බුක් එකෙන් බැනලා මැසේජ් කරනවා. නමුත් මුහුණට එහෙම වෙලා නැහැ හොඳ කියලා තියෙනවා මිසක්. බනින වෙලාවට මම ගොඩක් දුක් වෙලා තියෙනවා. කලකිරිලා තියෙනවා. මොකද මම මේ ගමන ආවේ උඩින් පාත් වෙලා නෙමෙයි නිසා. මම මගේ නම හදා ගන්න ගොඩක් දුක් විඳලා තියෙනවා. ඕන තරම් කටු කාලා තියෙනවා. එහෙම හදා ගත්ත නමටයි ප්‍රතිරූපයටයි හානියක් වෙනකොට දුකක් දැනෙනවා. සමහර අය අපිව විහිළුවට අරගෙන.
ඕෂධී කියන්නේ වැඩිපුර විලාසිතා භාවිතා කරන කෙනෙක් නේද.. බ්‍රෑන්ඩ් එකට ද විලාසිතා කරන්නේ..?
ෆැෂන් කරද්දී මම මුලින්ම බලන්නේ බ්‍රෑන්ඩ් එක. හෑන්ඩ් බැග්, ඔරලෝසු, සුවඳ විලවුන්, අව්කන්නාඩී. මේ හැම දෙයක්ම මම ගන්නේ බ්‍රෑන්ඩ් එක බලලා. මට ෆැෂන් පිස්සුවක් නම් තියෙනවා. ඒ පිස්සුව නම් නැති වෙන්නේ නැහැ. ඒ සඳහා මම මාසිකව ලොකු වියදමකුත් දරනවා. මට ගැලපෙන ඕනෑම විලාසිතාවක් මම කරනවා.
ඔබ තවම ජිවත් වෙන්නේ අවිවාහක කාන්තාවක් විදිහට සරලව නේද..?
මම කොහොමත් සරල ජිවිතයක් ගත කරන කෙනෙක්. එහෙම කියලා පවුල ගැන නොබලා ඉන්නේ නැහැ. මම මගේ වෘත්තිය ජිවිතයට තමයි මුලින්ම මුලිකත්වය දෙන්නේ. දෙවනුව පවුල. විවේකයක් තියෙන හැම වෙලාවකම මම පවුල ගැන බලනවා. සැමියාගේ වැඩ කරනවා.
ඔහු කිව්වොත් රැකියාවෙන් ඉවත් වෙන්න කියලා..?
අපි දෙන්නා ජිවත් වෙන්නේ අවබෝධයක් ඇතුව. කරන්නේ මොනාද කියලා අපි දැනුවත්. මට ලැබෙන හැම නිර්මාණයක්ම එයත් එක්ක කතා කරලා තමයි මම භාර ගන්නේ. අකමැත්තෙන් මම කිසි දෙයක් කරන්නේ නැහැ. මේ රැකියාව ලස්සන තියෙනකල් විතරයි තියෙන්නේ. කවදා හරි අපිට මේ දේවල්වලින් ඉවත් වෙන්න වෙනවා. ඊට කලින් ඔහු කිව්වොත් ඉවත් වෙන්න කියලා මට ඉවත් වෙන්න පුළුවන්. මොකද මම ඒ දේ මත ඇලිලා නැහැ.