ගායන ශිල්පී නාමල් උඩුගම පිළිබදව පසුගිය දිනවල කතාබහක් ඇති වූයේ ඔහු හා සම්බන්ධ කතා පුවතක් නිසයි. ඒ නාමල් උඩුගම අසනීපව සිටි සමයේ , නාමල් සුවපත් කර ගැනීමට සිය අක්මාවෙන් 68%ක් පරිත්‍යාග කළ ක්‍රිෂාන්ත නම් තරුණයෙකු සිය කතාව මුද්‍රිත මාධ්‍යයට හෙළිකිරීමත් සමගයි.
ක්‍රිෂාන්ත සම්පත් සිංහලගේ විසින් සිය අත්දැකීම මුද්‍රිත මාධ්‍යයට හෙළිකර තිබු අතර එහිදි ඔහු දැක්වු අදහස් පහතින්,
“මම රුවන්ති මංගලාට දුරකතනයෙන් කතා කළ වෙලාවෙ කිව්වා මට මේකෙන් හානියක් නැහැ කියලා කවුරුහරි තහවුරු කරල කියනව නම් මම ඔයාලට උදවු කරන්න කැමතියි කියලා. තව මම කිව්ව මම සේවය අත්හිටුවල ඉන්න ග්‍රාම නිලධාරි කෙනෙක් කියල. එතකොට රුවන්ති කිව්ව පත්වීම ලබාගන්න ඔයාට උදවු කරන්න අපිට පුළුවන්, සර්ජරි එක කළාට පස්සෙ අපි ජනාධිපතිතුමාට හරි කියල ඔයාගෙ රක්ෂාවෙ ප්‍රශ්නෙ විසඳල දෙන්නම් කීවා. ඊට පස්සෙ මට කිව්ව එයාව මුණගැහෙන්න මාබෝලෙ සිංගර් මෙගා එක ගාවට එන්න කියලා.
මම දවසක් කතා කරගෙන එතනට ගියා. රුවන්තිත් දුවත් කාරෙකේ ආවා. අපි හමු වුණාට පස්සෙ මාව එක්කගෙන ගියා නවලෝක මෙට්‍රොපෙලිටින් කියල ලැබ් එකකට. එතෙන්දි මගෙන් ‘ලේ’ සාම්පල් හත අටක් ගත්තා. එයාල ඉන්දියාවෙන් ගෙනත් තිබූ රිසිට් වගයක් එතන නර්ස්ට පෙන්නලා තමයි ඒ අනුව සාම්පල් ගත්තෙ. ඩොක්ටර් කෙනෙක් හිටියෙ නැහැ.
මේ සිදුවීමෙන් පස්සෙ මාසයක් විතර ගත වුණා. මමත් එච්චර හිතුවෙත් නැහැ. මොකද මගේ ලේ ගැළපුණාද දන්නෙත් නැහැනෙ. ඊට පස්සෙ දවසක් හදිසියෙම රුවන්ති මංගලා මට කතා කළා.
“ක්‍රිෂාන්ත ඔයාගෙ බ්ලඩ් ලෙඩාට ගැළපෙනවා. ඔයා ලයිෆ් ටයිම් එකේ අරක්කු එහෙම බීල නැහැ නේද” කියල ඇහුවා.
“මම මත්පැන් බොන කෙනෙක් නෙමෙයි කීවම අපි මේක කරනව නම් කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නෙ කියල මම දැනගන්න ඕන” කීවා.
“හරි, ක්‍රිෂාන්ත ඔයා අපේ ගෙදර එන්න ඔයාට උපදේශයක් දෙන්න ඩොක්ටර් කෙනෙකුත් එනවා” කියල දිනයක් යොදා ගත්තා.
ඒ අනුව මම ගියා. මම යනකොට නාමල් හිටියා. හුඟක් අසාධ්‍ය තත්ත්වයෙන් හිටියේ. රුවන්ති මට ඩොක්ටර් රියාස් කියල කෙනෙක් හඳුන්වා දුන්නා. පස්සෙ මම දැනගත්තෙ එයා ඩොක්ටර් කෙනෙක් නොවෙයි. දකුණු ඉන්දියාවෙ ග්ලෝබල් කියන හොස්පිටල් එකේ ලංකාවෙ ඉන්න නියෝජිතයා. එයා මට පැහැදිලි කළා,
“මේක සුළු ශල්‍යකර්මයක්. බිය විය යුතු නැහැ. අපි ඔයාගෙ අක්මාවෙන් 10%ක කෑල්ලක් තමයි ඉවත් කරගන්නේ. ඒක ඉක්මනින් නැවත වැඩෙනවා. ඔයාගෙ ජීවිතයට කිසිම බලපෑමක් මේකෙන් වෙන්නෙ නෑ. ඔයාට අවශ්‍ය නම් ඉන්දියාවට ගිහින් හරියට තීරණය කරගන්න පුළුවන්” කිව්වා.
අපි පළමු වතාවෙ ඉන්දියාවට ගියා. මා සමඟ මගේ බිරියත් ගමනට සම්බන්ධ වුණා.
අපි චෙන්නායිවල ‘ග්ලෝබල් හෙල්ත් සිටි’ එකට ගියා. එතැනදි නැවත පරීක්ෂණ කළා.
“සැත්කම සිදු වුණේ 2015 මාර්තු 27. නාමල්ගෙ ඔපරේෂන් එක කළේ මොහොමඩ් කියල ඩොක්ටර් කෙනෙක්. මගේ ඔපරේෂන් එක කළේ ගෝමතී කියල ලේඩි ඩොක්ටර් කෙනෙක්. අපි හොස්පිටල් එක කිට්ටුව අපාට්මන්ට් එකක ගෙයක් කුලියට අරන් හිටියේ. රුවන්ති නාමල් එක්ක එක රූම් එකක හිටියා. මම අනෙක් රූම් එකේ හිටියා. මම පරීක්ෂණ ගණනාවකට මුහුණ දුන්නා. රෝහලේදී මම දැන ගත්තා මගේ අක්මාවෙන් 10%ක් නොවෙයි 75%ක්ම ගන්න බව. එවිට මට බය හිතුණා. මගේ මෙඩිකල් ෆයිල් එකේ එහෙම ලියල තිබෙනවත් මම දුටුවා. ඒ අතරම මට කිව්වා, “ඔයා ගනුදෙනු ගැන මොනවත් කතා කරන්න එපා අපි ඔයා ගැන බලනවා” කියලා.
ශල්‍යකර්මයට දින 4ක් විතර තියෙද්දි නාමල් රෝහලේ ඇඩ්මිට් කළා. මම කාමරේ හිටියේ. රුවන්ති එළියට යනවිට මාව ඇතුළට දාල ලොක් කරල යන්න ගියා.
මම ෙදාර ඇරපු ගමන් එළියට ගියා. කිට්ටුව පල්ලියක් තිබුණා. මම බෞද්ධයෙක්. ඒ වුණාට මම පල්ලියට ගිහින් ෆාදර්ට කතා කරලා එතනින් ඇමතුමක් අරන් බිරියට කිව්වා මම වැටිල ඉන්න අසීරු තත්ත්වය. මට බයයි නෝනෙ කියල. එතකොට රුවන්තිත් කතා කරල නෝනට කියල තිබුණා ක්‍රිෂාන්ත නෑ, එයාට එන්න කියන්න, තව දවස් දෙකයි තියෙන්නෙ කියලා. කියන ඕනම දෙයක් දෙන්නම් කියල පස්සෙ නෝන මට කිව්වා
“ඔයා ඕක දෙන්න. තව දවස් දෙක තුනකින් ඔය මනුස්සය මැරිල ගියොත් ඔයා පිටින් තමයි යන්නෙ. 10%ක් නොවේ. 68ක් ඉල්ලනව නම් ඒකත් දීලා එන්න” කියල වයිෆ් මා එක්ක අමනාපෙන් කීව.
ඊට පස්සෙ මම කාමරේට ගියා. මෙයාල අපේ වයිෆ්ගෙ වියදමට මුදලකුත් දාල තිබුණ. ශල්‍යකර්මය කරන්න ඉස්සර මට හොඳට කතා කළා. සැලකුවා. ශල්‍යකර්මයෙන් පස්සෙ දින දෙකක් යනකන් මගෙ අක්මාව ලෙඩාගෙ ශරීරයට භාර ගත්තෙ නැහැ. එතකොට බනින්න ගත්තා.
දවස් තුනක් යද්දි නාමල්ට අක්මා බද්ධය සාර්ථක වුණා. නමුත් මම හොඳටම කලකිරුණා. මම අප්‍රේල් 27 වෙනකන් රෝහලේ හිටියා. මෙයාල මාව සම්පූර්ණයෙන්ම අතහැර දැම්මා. උදව්වට කවුරුත් නෑ. ලේ පැකට් එක අතේ තියන් තනි අතින් රෙදි සෝදනවා. ඩොක්ටර්ලා 10ක් දිනපතා බලනවා. එයාල මට බැන්නා මොනවද කරන්නේ, ලෙඩා මැරුණත් අපි ඔයාව සනීප කරල යවන්න ඕන කිව්වා. ලංකාවට ඇවිත් මැරුණත් කමක් නෑ කියන තැනට මම වැටුණ.
මම රෝහල ගානෙම චෙන්නායි එයාර් පෝට් එකට ආවෙ. මට අමාරුයි ඒත් තනියම එන්න වුණේ.
ගමට ඇවිත් මම ගොඩක් දුක් වින්දා. නැඟිට ගන්න බැරිව හිටියා. පවුලෙ ආර්ථික ප්‍රශ්න විසඳගන්න බැරි තැන මගෙ බිරිය විදේශ රැකියාවකට ගියා. මම දරු දෙන්නත් එක්ක රුපියල් 2000කට කුලී ගෙයක ඉන්නෙ. කුඹුරු වැඩ කරන්නත් බැහැ. පපුවෙ මහන්සිය. බේත් වලින් ජීවත් වෙන්නෙ. වෙන කරන්න දෙයක් නැති නිසා මම රන්ජන් රාමනායක මැතිතුමා හමුවුණා. එතුමා මට කන්දුන්නා. මගෙ ග්‍රාමසේවා පත්වීම හදාදෙන්න පොරොන්දු වුණා. මට රුපියල් පනසදාහක් දීලා දරුවන් සමඟ ගෙදරටම ගෙනත් ඇරලුවා. මගෙ බිරියත් ගෙනැවිත් දෙන බව කීවා. අපේ අනාගතය ගැන වගකීම භාරගත්තා. එතුමගෙ මිනිසත්කමට මා නමස්කාර කරනවා. මට සිදුවූ දේ හැම දෙනාටම පාඩමක්. මේ වගෙ උදවු කරන්න තමන්ගෙම කෙනෙකුට විතරක්. මට කියන්න තියෙන්නෙ එපමණයි.”