මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම පැකිළීමකින් තොරව ක්‍රියාත්මක කරනවා

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම පැකිළීමකින් තොරව ක්‍රියාත්මක කරනවා
Spread the love

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටින පුද්ගලයන්ට මරණය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඇතුළු නීතිරීති කිසිඳු
පැකිළීමකින් තොරව ඉදිරියට ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
යාපනය මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණය හා නැවත ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක උත්සාහයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය.
ආරක්ෂක අංශ භාරයේ පැවැති උතුරේ ඉඩම්වලින් සියයට 88ක් පමණ මේ වන විට මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කර අවසන් අතර, ඉතිරි සියයට 12ක ප්‍රමාණයද කඩිනමින් එම ජනතාව වෙත ලබාදිය යුතුය යන පැහැදිලි ප්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවැසීය.
තවමත් ආරක්ෂක අංශ භාරයේ පවතින මයිලිඩ්ඩි පාසල ඇතුළු පාසල් කිහිපයකට  අයත් ඉඩම් ඉදිරි සති 2 තුළ නිදහස් කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ධීවර වරාය ආශ්‍රිතව ඉඩම් අහිමි වූ ජනතාවටද ඉඩම් ලබාදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බවයි.
සියලුදෙනාගේ අරමුණ සහ අධිෂ්ඨානය විය යුත්තේ නැවත රට තුළ යුද්ධයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීම බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා ජීවිත දහස් ගණනක් අහිමි කරමින් හා ජාතික සම්පත් විනාශ කර දමමින් රට ආපස්සට ඇද දැමූ මි‍ලේච්ඡ ත්‍රස්තවාදයට කිසිසේත් යළි රට තුළ ඉඩක් තැබිය නොහැකි බවද කියා සිටියේය.
පශ්චාත් යුද සමයේ වගකීම් නිසි ලෙස ඉටුකරමින් ජාත්‍යන්තරයෙන් එල්ල වූ චෝදනාවලින් ද රට නිදහස්කර ගැනීමට වත්මන් රජය ඉකුත් වසර 3 තුළ කැපවීමෙන් කටයුතු කළේ රටට ලැබුණු නිදහස සැබෑ නිදහසක් කර ගැනීමට බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර අඩපණ වූ සංවර්ධනය යථාවත් කරමින් එම ජනතාවගේ සංවර්ධන අයිතිවාසිකම් දිනාදීමටද රජය ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
ඒ වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකායක්ද ස්ථාපිත කර තිබෙන අතර එය නිරන්තරයෙන් රැස් වෙමින් ප්‍රගතිය සමාලෝචනයට ලක් කිරීම සිදුකරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය. කිසිදු ජනාධිපතිවරයෙක් තමන් තරම් උතුරේ සංචාරය කර නොමැති බවද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා තමන් ඒ සඳහා එක්වන්නේ එම ජනතාවගේ ගැටලු හඳුනාගනිමින් අදාළ සේවාවන් කඩිනම් කිරීමේ වගකීම් නිසි ලෙස ඉටුකිරීමට බව කියා සිටියේය.
උතුරු ඇතුළු රටටම අභියෝගයක් වී ඇති මත්ද්‍රව්‍ය ගැටලුව පිළිබඳවද අදහස් දැක්වූ ජනාධිපතිවරයා බන්ධනාගාරගතව සිටියදීද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටින පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඇතුළු නීති රීති කිසිදු පැකලීමකින් තොරව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.
සමරු ඵලකය නිරාවරණය කර මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.
මයිලිඩ්ඩි ධීවර ජනතාවගේ උපහාරය ජනාධිපතිවරයා වෙත පුද කරමින් සමරු තිළිණියක් පිළිගැන්වීමද සිදුකෙරිණි. අනතුරුව ජනාධිපතිවරයා ප්‍රදේශයේ ධීවර ජනතාව සමග සුහද කතාබහකද නිරත විය.
අමාත්‍ය විජිත් විජතමුණි ද සොයිසා, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, විජයකලා මහේෂ්වරන්, මාවෙයි සේනාධිරාජා ඩී. සිද්ධාර්ථන් යන මහත්ම මහත්මීන් ඇතුළු උතුරු පළාතේ මහජන නියෝජිතයන් රැසක් සහ ප්‍රදේශයේ ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ