විස්වාසභංග යෝජනාව නිසා පසුගිය සතියේ දේශපාලනය අතිශය උණුසුම් විය. මේ අතර විස්වාසභංග යෝජනාව තිරය පසුපස රසවත් කතා බොහොමයක් විය.
විස්වාසභංගය ගෙන ඒමට පෙර දින එකාබද්ධයේ පාර්ලීමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග විඡේරාම පෙදෙසට ගියේ හිටපු ජනපති මහින්ද මුණගැසීමටය. පෙරදා රාත්‍රියේ ප්‍රසන්නට දැනගන්නට ලැබී තිබුණේ විශ්වාසභංගය යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය තුළ බෙදීමක් හටගෙන ඇති බවය.
ප්‍රසන්න එනු දුටු හිටපු ජනපති එක්‌වරම ආ මේ එන්නේ අපේ තරගයේ වීරයා යෑයි කීවේය. “මොකද සර් එහෙම කිව්වේ? ඇත්තටම දැන් මොකක්‌ද වෙලා තියෙන්නේ?”ප්‍රසන්න ඇසුවේය.
“නෑ ඉතින් ඔයා කිව්ව එක හරි” මහින්ද පැවසීය.
“මොකක්‌ද මං කියපු එක?” ප්‍රසන්න යළි ඇසුවේය.
“ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ බෙදීමක් ඇති වෙලා තියෙනවා විශ්වාසභංගයට ඡන්දය දෙන එක ගැන. පක්‌ෂයේ නියෝජිතයෝ දෙන්නෙක් උදේ මාව හම්බ වෙන්න ඇවිත් කියනවා පක්‌ෂයේ බෙදීමක් ඇති වෙලා තියෙනවා කියලා. සමහරු කියනවලු විශ්වාසභංගයට පක්‌ෂ වෙමු කියලා. තව පිරිසක් කියනවලු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකිමු කියලා. ඒ අය යෝජනා කරනවා විශ්වාසභංග යෝජනාව කල්දාමු කියලා. මම ඒක ප්‍රතික්‌ෂේප කළා. මම කිව්වා දැන් කොහොමටවත් කල්දාන්න බැහැ. කැමැති අය දෙන්න. අකමැති අය නිකම් ඉන්න. හැබැයි කවුරු දුන්නත් නැතත් අපි විවාදයට යනවා කියලා” මහින්ද පැහැදිලි කළේය.
“ඒකනේ මම කිව්වේ කොළේට අත්සන් ගමු කියලා. අපේ සමහරු කිව්වානේ එහෙම ගත්තොත් ඒ අයට ප්‍රශ්නයක් වෙයි කියලා. මම දැනගෙන හිටියා මෛත්‍රී මේ හදන්නේ තුන්වැනි පාරටත් රනිල්ව ආරක්‌ෂා කරන්නයි කියලා” ප්‍රසන්න පැවසීය.
“ප්‍රසන්නගේ කතාව හරි. මමත් කිව්වේ අඩුම ගාණේ මේ අය ලවා යෝජනාවටවත් අත්සන් කරවා ගන්න කියලයි. දැන් පේනවානේ වෙලා තියෙන වැඩේ” මහින්ද පැවසීය.
“අපි මේවා කිව්වම සමහරු අපිටත් ගැහුවා රනිල්ව බේරගන්න යනවා කියලා. ඩීල් එකට අපි අහුවුණා. මොනවා වුණත් දැන් කරන්න දෙයක් නැහැ. අපි මේ අභියෝගයට මුහුණ දෙමු. මොනවා වුණත් මිනිස්‌සු ඇත්ත දන්නවනේ” ප්‍රසන්න කීවේය.
ඒ අනුව විශ්වාසභංග යෝජනාව සම්බන්ධ විවාදයට සහභාගී වීම සඳහා ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව බලා ගියහ. හිටපු ජනපති මහින්දට පාර්ලිමේන්තුවේ දී සුසිල් හමුවුණේය. “පක්‌ෂයේ බෙදීමක් ඇති වෙලා තියෙනවා සර්. හැබැයි මම නම් අනිවාර්යයෙන්ම විශ්වාසභංගය යෝජනාවට සහාය පළ කරලා ඡන්දෙ දෙනවා” සුසිල් මහින්දට සපථ කළේය.
මේ අතර ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක් සමඟ ලොබියේ කතා කරමින් සිටි මහින්දානන්දට නියෝජ්‍ය ඇමැති වසන්ත සේනානායක මුණගැසුණේය. ” මාර වැඩේනේ අපිට වුණේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා අපිට කිව්වේ එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අරගෙන දෙනවා කියලයි. දැන් ඒ අයම තීන්දු කරලා තියෙනවා ඡන්දෙ නොදී ඉන්න. මේක ලොකු පටලැවිල්ලක්. අපිට කරන්න දෙයක් නැහැ “ වසන්ත පැවසීය.
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම බදාදා රාත්‍රී 9.30 ට පැවැති අතර ඉන් අගමැතිවරයා ජයග්‍රහණය කර තිබුණි. විශ්වාසභංගයෙන් පසුව ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් විවිධ ස්‌ථානවල එකතුව කතාබහ කරමින් සිටියහ. ප්‍රසන්න සභා ගැබෙන් එළියට ආවේම “මම කිව්වා හරි නේද? යෑයි අසමිනි.
“මරු වැඩේ කියන්නේ මේ යෝජනාව අපිට ගෙනාපු නිදහස් පක්‌ෂයේම ප්‍රබලයා අන්තිමට ඡන්දෙ දෙන්නවත් ඇවිල්ලා නැහැ” සනත් පැවසීය.
“විශ්වාසභංග යෝජනාව ගෙනාවේ රනිල් වික්‍රමසිංහට විරුද්ධව වුණාට ජනතා විමුක්‌ති පෙරමුණ විවාදයේ දී කතා කළේම මහින්ද ගැනනේ” තවත් මන්ත්‍රිවරයකු පෙන්වා දුන්නේය.
“එයාලට ඉතින් තියෙන ඡන්ද හතර පහවත් රැකගන්න මහින්ද මහත්තයට බණින්න වෙනවානේ” පියල් නිශාන්ත සිනාසෙමින් පැවසීය.
