නවක රංගන ශිල්පිණි මනීෂා චංචලා මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියට හිමි දෙවැනි ස්ථානයට පත් වුණා. පුවත්පතක් සමග සංවාදයකට එක්වන මනීෂා ඒ පිළිබදව අදහස් දක්වා තිබුණා.
එම සංවාදය පහතින් ,
මුලින්ම කියමු අලුත් තොරතුරු ගැන?
සුපුරුදු විදිහට ටෙලි නාට්‍යය එක්ක තමයි කාලය ගවෛන්නෙ. අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. තවත් නාට්‍යයකට දැන් ආරාධනා ලැබිලා තියෙනවා.
මොකද හිතෙන්නෙ කෙටි කාලයකින් මෙච්චර ප්‍රතිචාරයක් ලැබෙන එක ගැන?
ඒ ගැන නම් හිතේ පොඩි ආඩම්බරයක් තියෙනවා. ඒ වගේම සතුටුයි මේ ලැබෙන ප්‍රතිචාර ගැන?
ක්ෂේත්‍රයට එනකොට හිතුවද මේ වගේ ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා?
මුලින්ම මම එන්නෙ ළමා නිවේදිකාවක් හැටියට. ඊට පස්සේ ගායිකාවක් හැටියට එළියට එනවා. නමුත් ගායනය හරහා ඉදිරියට යන්න හිටපු මට නොහිතපු විදිහට රංගනය මුණ ගැහෙනවා. මුලින්ම නම් හිතුවේ නෑ මේ විදිහට ප්‍රතිචාරයක් ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා. ඉතින් අද වෙනකොට මේ ලැබෙන ප්‍රතිචාර එක්ක මම හොඳ තැනක ඉන්නවා කියලා හිතෙනවා.
ගායනය මගහැරෙන එක ගැන පසුතැවීමක් නැද්ද රංගන කටයුතු නිසා?
ගායනය මගහැරිලා නෑ. මම මෑතක දී මගේ කියා නමින් ගීතයක් කළා. අතුල අධිකාරි මහත්මයාගේ ‘බොහෝ කලක්’ ගීතයේ ෆීමේල් වර්ෂන් එක විදිහටයි මගේ ගීතය නිර්මාණය වුණේ. ඉතින් ඒකටත් නොහිතපු විදිහේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ජනප්‍රියම නිළිය සම්මානය අහිමිවීම ගැන හිතේ පොඩි හරි දුකක් ඇති නේද?
ජනතාවගේ ආදරය ලැබෙනවා කියන්නෙම සම්මානයක් තමයි. දෙවැනි තැන ලැබෙනවා කියන්නෙත් ඒ ආදරය අඩුවක් නැතුව ලැබිලා තියෙනවා කියන එක. ඉතින් මට නම් කිසිම දුකක් නෑ. ගොඩාක් සතුටු වෙනවා මේ ලැබෙන ජනතා සම්මානයට.
අනාගතයේදී වෘත්තීය බවට රංගනය පත් වෙයිද?
අනාගත වෘත්තීය රංගනයවත්, ගායනවත්, නිවේදනයවත් වෙන්නෙ නෑ. ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් මගේම වෘත්තීය ගමනක් යාමයි බලාපොරොත්තුව. ඉතින් ඒ සඳහා සූදානමිනුයි ඉන්නේ මේ දවස්වල.
සිනමාවෙනුත් ඔබව දකින්න ලැබේවි නේද ඉදිරියේදී?
ආරාධනා නම් ගොඩක් ලැබුණා. නමුත් අධ්‍යාපන කටයුතු එක්ක ලැබුණු ආරාධනා මගහැරුණා. ඉදිරියේදී හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් අනිවාර්යයෙන්ම භාර ගන්නවා.
මොනවද ඉදිරි වැඩකටයුතු?
තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ගැන ඉදිරියේදී දැන ගන්න ලැබේවි. ඉතින් මම මගේ ආදරණීය ප්‍රේක්ෂක පිරිසට කියන්නේ මට ලැබෙන හැම චරිතයකටම උපරිම සාධාරණය ඉටු කරනවා. ඒ නිසා මේ වගේම මාත් එක්ක ඉන්න කියන ආරාධනය කරන්න කැමැතියි.