මරන්න කලින් කොස් මල්ලිට මධුෂ්ගෙන් කෝල් එකක් – ඇත්ත කතාව මෙන්න…

මරන්න කලින් කොස් මල්ලිට මධුෂ්ගෙන් කෝල් එකක් – ඇත්ත කතාව මෙන්න…
Spread the love

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දමාගොස් තිබියදී හිස සොයාගත්, පාතාල සාමාජික ‘කොස් මල්ලී’ හෙවත් අංගොඩ ශාන්ත කුමාර නමැත්තාගේ පුලුස්සා වළදමා තිබූ හිසසුන් මළ කඳ අගුණුකොළපැලැස්ස මුරුවැසිහේන ගෝඨාභයගම ප්‍රදේශයේ කෙසෙල් ඉඩමක තිබී ඊයේ දහවල් අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් තුෂිතා කුමාරසිරි මෙනෙවිය හා හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිලධාරී සිසිර සෙනවිරත්න මහතා ඉදිරියේදී ගොඩගනු ලැබීය.

කොස්මල්ලී ඝාතනයට ලක්වීමට පෙර පොල් ගසක බැඳ පහරදුන් බව කියන ස්ථානයද, ශරීර කොටස් සඟවා තිබූ ස්ථානයට මීටර් 70ක් පමණ දුරින් පිහිටි එම ස්ථානය මහෙස්ත්‍රාත්වරියගේ හා අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ පරීක්ෂාවට ලක්කෙරිණි.

පාතාල සාමාජික ‘කොස් මල්ලී’ හෙවත් අංගොඩ ශාන්ත කුමාර නමැත්තා ඝාතනයට පෙර පාතාල නායක මධුෂ් සමඟ දුරකතනයෙන් කතා කර ඇති බවත් එහිදී මොහොමඩ් රිස්කාර් ඝාතනය සම්බන්ධයෙන් කොස් මල්ලී මධුෂ්ට පාපෝච්චාරණය කර අඬමින් සමාව ඉල්ලා ඇති බවත් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අනාවරණය කරගෙන තිබේ. පාපෝච්චාරණයෙන් අනතුරුව මධුෂ් කොස් මල්ලීට බැන වැදී ඇති අතර ඉන්පසු ඔහු ඝාතනය කර තිබේ.
මොහොමඩ් රිස්කාන් ඝාතනයෙන් අනතුරුව සැඟවී සිටි “කොස් මල්ලී” මධුෂ්ගේ කණ්ඩායමට හමු වී ඇත්තේ ද අහම්බෙනි.

රිස්කාන් ඝාතනයෙන් අනතුරුව දකුණු පළාතට යන කොස් මල්ලී තමාට සැඟවී සිටීමට නිවෙසක් සොයා ඇත. ඔහු මේ නිවෙස සෙවීමට භාරදී ඇත්තේ ඇඹිලිපිටියේ සිටින ඔහුගේ අනියම් බිරියගේ සොහොයුරියගේ පුතකුගේ දුව විවාහ කර ගැනීමට සිටිනා තරුණයකුටය. එම තරුණයා මාකඳුර මධුෂ්ගේ සමීපතමයකු වන ලොකු අයියා නැමැත්තාට මේ පිළිබඳව පවසා ඇත.

එහිදී ලොකු අයියා තරුණයාගෙන් විමසා ඇත්තේ මේ පුද්ගලයාට සැඟවී සිටීමට ඇති අවශ්‍යතාව කුමක්ද? යන්නයි.
එහිදී එම තරුණයා “ඔහු මොහොමඩ් රිස්වාන් ඝාතන සිද්ධියේ යතුරුපැදියේ හිමිකරු බව ලොකු අයියා නැමැත්තාට පවසා තිබේ.
මේ තොරතුරු දැනගත් මධුෂ්ගේ සමීපතමයකු වන ලොකු අයියා වහාම මේ තොරතුරු විදෙස්ගතව සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ්ට දන්වා ඇත. එම තොරතුරු අනුව මාකඳුරේ මධුෂ් හා ලොකු අයියා නමැත්තා එක්ව කොස් මල්ලී ඝාතනයට පූර්ව සැලසුම සකස් කර ඇත.

එම සැලසුම අනුව කොස් මල්ලීට සැඟවී සිටීමට අවශ්‍ය නිවෙසක් සොයා දෙන මුවාවෙන් ලොකු අයියා ප්‍රමුඛ මාකඳුරේ මධුෂ්ගේ ගෝලයන් කිහිපදෙනකු කොස් මල්ලී නමැත්තා අඟුණුකොළපැලැස්ස මුරවැසිහේන ගෝඨාභයගම ප්‍රදේශයට රැගෙන විත් තිබේ.

එහි කෙසෙල්වත්තකට ගෙනවිත් කොස් මල්ලී නමැත්තාට පහරදී පොල් ගසක බැඳ ඔහු පොල් ගසේ බැඳ සිටින අයුරු ඡායාරූප ගෙන මාකඳුරේ මධුෂ් වෙත යවා තිබේ. ඒ අවස්ථාවේ දුරකතන මඟින් මාකඳුරේ මධුෂ් කොස් මල්ලී සමඟ කතා කර ඇති බවත් රිස්කාන් ඝාතනය සම්බන්ධයෙන් කොස්මල්ලී මධුෂ්ගෙන සමාව ඉල්ලා ඇති බවත් පොලිසිය කියයි.

මේ අතර කොස් මල්ලී පොල් ගසේ බැඳ සිටින ඡායාරූප මාකඳුරේ මධුෂ්, රිස්කාන්ගේ මිතුරන් කිහිප දෙනකුට යවා ඇත්තේ “රිස්කාන් මැරූ පලිය ගත්තා” යැයි කියමිනි.
පහර දී ගස් බැඳ සිටි කොස් මල්ලිගේ පාපෝච්චාරණයෙන් අනතුරුව වෙඩි තබා ඔහු මරා දමා තිබේ. අනතුරුව ඔහුගේ හිස කඳෙන් වෙන් කර හිස කොටස වෑන් රථයකින් කොළඹට එවා ඇති අතර කඳ කොටස පුලුස්සා දමා ඇත. නමුත් කඳ කොටස සම්පූර්ණයෙන් පිලිස්සී නැති නිසා ඉතිරි කොටස් වළ දමා තිබේ.
කඹුරුපිටිය පොලිසිය මඟින් ඉකුත්දා මාකඳුර මධුෂ්ගේ සමීපතම ඥාතියකුගේ නිවෙසක සිටියදී මාකඳුර මධුෂ්ගේ කල්ලියට අයත් යැයි සැක කරන සිවු දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් අතර සිටි යුද හමුදාවෙන් පලා ආ අපරාධ 54කට සම්බන්ධ පුද්ගලයකු සිටි බවත් පොලිසිය කියයි.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කොස් මල්ලී ඝාතනයේ අගමුල සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වී තිබේ.
කොස් මල්ලී ඝාතනයේ ප්‍රධාන සැලසුම්කරු හා සැකකරු වන “ලොකු අයියා” නමැත්තා සැඟවී සිටින අතර ඝාතනයට යොදාගත් ටී 56 ගිනි අවියද ඔහු සතුව ඇති බවට පොලිසිය විශ්වාස කරයි. මෙම ලොකු අයියා නමැත්තා මෙවර අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවට තේරී පත්වී සිටින ජවිපෙ අපේක්ෂකයකුගේ සහෝදරයකු බවත් පොලිසිය කියයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් අධිකාරි මහේෂ් නිශාන්ත සොයිසා මහතාගේ මූලිකත්වයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරි නිෂේධ ප්‍රනාන්දු, කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා, කුඹුරුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයශාන්ත, කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක එස්.පී.ඩී.ජේ. නිශාන්ත, උප පොලිස් පරීක්ෂක දුනුසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිරුර ගොඩ ගන්නා අවස්ථාවට පැමිණි සිටියහ. තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් පරිදි තංගල්ල ස්ථානීය අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් සහ අඟුණුකොළපැලැස්ස පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කීර්ති ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන්ගේ සහායද මෙම පරීක්ෂණ කටයුතු සඳහා හිමිවිය.
සොයාගත් ශරීර කොටස වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යැවීය.