ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙවන තරඟය ලෙස නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර බර්මින්හැම්හිදී පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ඉනිම අවසානයේ ඇති වූ වර්ෂාව හේතුවෙන් තරඟයේ දෙවන ඉනිම ආරම්භයට මිනිත්තු 85 ක පමණ කාළයක් වැයවූ අතර තරඟය ජයගැනීමට ඕස්ට්‍රේලියාවට ඕවර 36 කදී ලකුණු 235 ක ඉලක්කයක් හිමිවිය. තරගය ආරම්භවුවද ඕස්ට්‍රේලියා කණ්ඩායම ඕවර නවයක් අවසානයේ ලකුණු 53 කට කඩුලු තුනක් දැවී ගොස් තිබියදී නැවතත් ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත විය. මිනිත්තු 30 ක් බලාසිටියද වර්ෂාවේ අඩුවීමක් සිදුනොවීම නිසා තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඔවුන්ට නියමිත පන්දුවාර 46 අවසන් වීමට පෙර ඕවර 45 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 291 ක් රැස්කිරීමට සමත් විය. කේන් විලියම්සන්ගේ ශතකය හමුවේ ලකුණු 300 සිමාවට ආසන්න වුවද, ජෝෂ් හේසල්වුඞ්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ එම සිමාව ඉක්මවා යෑමට නවසීලන්ත කණ්ඩායමට අවස්ථාවක් හිමි නොවීය.
ලකුණු 100 ලබා සිටියදී අවාසනාවන්ත දුවද්දී දැවීයෑමකට හසුවන විට පන්දු 97 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර අටක් සිය ඉනිමට එක්කර ගැනීමට කේන් විලියම්සන් සමත්ව සිටියේය. දෙවැනි කඩුල්ල සදහා ලුක් රොන්චි සමග එක්ව පන්දු 60 කදී ලකුණු 77 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ විලියම්සන්, තෙවැනි කඩුල්ල සදහා රොස් ටේලර් සමග එක්ව පන්දු 109 කදී ලකුණු 99 ක සම්බන්ධතාවයක්ද ගොඩනගමින් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
හතලිස් පස්වැනි වැනි ඕවරය ආරම්භවන විට කඩුලු 7 කට ලකුණු 286 ක් රැස්කරගෙන සිටි නවසීලන්තයට පහසුවෙන් ලකුණු 300 සීමාව කරා යෑමට තිබූ අවස්ථාව උදුරාගත් ජෝෂ් හේසල්වුඞ් අවසන් කඩුලු තුන දවාගනිමින් සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 52 කට කඩුලු 6 ක් දවාගත්තේය.හෙල්ස්වුඩ් ගේ මෙම පන්දු යැවීම සටහන් වුයේ චැම්පියන්ස් කුසලාන තරඟාවලියක පන්දු යවන්නෙකු වාර්තා කල හොඳම දෙවන පන්දු යැවීම ලෙසය.චැම්පියන්ස් කුසලානයේ හොඳම පන්දු යැවීම වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩක ෆරවීස් මහරුෆ් විසිනි.
[rns_reactions]