මහා සූප­වේ­දි­යා­ගෙන් ජාති­යට පිදෙන සූප වංශය….

Spread the love

මහා සූප­වේ­දි­යා­ගෙන් ජාති­යට පිදෙන සූප වංශය  එළි දැක්වීම ලබන 24 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී..
තුන් සිංහලයටම ඇත්තේ එක් වංශ කතාවකි. ඒ මහා වංශයයි. ඒ වංශ කතාවට පමණක් දෙවැනි වන වංශ කතාවක් අපේ වංශ කතා නාමාවලියට බක් මහේ විසි හතර වැනි දින අපරභාග තුනට එක්වීමට නියමිත ය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා‍වේදී දොරට වඩින අපේ දෙවැනි වංශ කතාව වන්නේ සූප වංශයයි. මෙහි රචකයා ශ්‍රී ලාංකේය සූපවේදීන් ගැන කතා කරන විට අපේ මතකයට මුලින් ම නැ‍ෙඟන පබ්ලිස් සිල්වා නම් මහා සූපවේදියා ය.

වංශ කතා‍වක් දිනකින්, දෙකකින් ඇරැඹෙන්නක් නොවේ. එයට දිගු ඉතිහාසයක් ඇත. හතළිස් වසරක ඒ අතීත කථාවට අපේ මහා සූපවේදියා මුල පිරුවේ මෙලෙසිනි.

“අපේ ඓතිහාසික පුස්තක අතරට සූප වංශය එක් කිරීමේ අදහස ඇතිවෙලා වසර හතළිහකට වැඩියි. ලංකාවේ ඖෂධීය ආහාර එකතු කරලා සූපවංශයක් කිරීමේ අදහස ඇති වුණේ කොලු කමට කළ දඟකාර වැඩකින්. මායි සගයන් ටිකයි අනුන්ගේ වතුවලට ගිහින් කුරුම්බා කඩාගෙන කෑම සිරිතක් වෙලා තිබුණා. දවසක් කලටි පොල් කඩාගෙන මූදට ගෙනිහින් මූදු වතුරෙන් හෝදලා කෑවා. හරි අපූරු රසක්. ඉන්පස්සෙ දිගටම එහෙම කළා. අලුත් අලුත් දේ අත්හදා බැලීමට එය මූලාරම්භයක් වුණා.

ලෝකයේ බොහෝ දේ නිර්මාණය වීමට මුල පිරෙන්නේ ඒ වගේ අහඹු සිදුවීම්වලින්. මුලින් ම ආහාර අමුවෙන් අනුභව කළ මිනිසාට අහම්බෙන් ගින්දර සොයා ගන්නට ලැබුණා. ලැව් ගිනි නිසා තමන් ජීවත් වුණු වනාන්තර විනාශ වෙද්දී අපේ මුතුන් මිත්තන් පණ ගැට ගසා ගත්තේ ඇළකින්, දොළකින් එගොඩ වෙලා. ආපසු තමන් පදිංචි තැන්වලට යන විට ගස්වැල්, සතුන් ගින්නෙන් අළුවෙලා. කුසගින්නට පිළිස්සුණු සතුන්ගේත් පලා වර්ගවලත් රස බැලූ විට ඒවායේ මුලින් තිබුණට වඩා වැඩි රසයක් දැනෙන්නට ගත්තා. ගල්, වියළි දරකෝටු එකට අතුල්ලා ගින්දර ලබාගෙන උයන්න පෙළඹුණා. සියල්ල අහඹු සිදුවීම්.

සූප වංශයක් ලිවීමට තරම් අපේ ආහාරයෙහි ඇති විශේෂත්වය කුමක්ද?
ලෝකයේ ආහාර සංස්කෘති ගැන ඕනෑ තරම් පොත් ලියැවී තිබෙනවා. විශිෂ්ටතම ආහාර සංස්කෘතියකට අප හිමිකම් කියනවා. ඒත් කොතැනකවත් ලංකාවේ ආහාර ගැන ලියැවී නැහැ. එහි ඖෂධීය වටිනාකම ලියැවීත් නැහැ.
ඉන්දියාවෙන් පිටුවහල් කළ විජයකුමාරයන් හත් සියයක පිරිසක් ලංකාවට එද්දී කුවේණි සපු කටිමින් හිටියේ. ඒ වෙනවිට ලංකාවේ ඉතා දියුණු සංස්කෘතියක් තිබුණා‍. හත් සිය එක් දෙනකුට කන්න දෙන්න තරම් වී වගාවෙන් අපේ රට සශ්‍රීක බවට ඊට වැඩි සාක්ෂියක් අවශ්‍ය නැහැ.

ලංකාවේ වැසියන් පිට දේශයේ කෑම බීම වැළඳ ගත්තා. අ‍ෙප් වටිනා ආහාර සංස්කෘතිය වැනසුණා. දස මහා යෝධයන් බිහිවුණේ හෙළ කෑම බීමවල ශක්තියෙන්.

අනුරාධපුරයේ රහතුන් වහන්සේලා පන්දහසකට දන් පිළිගන්වා තිබෙන්නේ කැඳ බත් ඔරුවල. රජකාලයේදී පවා වර්තමාන කොම්බි අවන් ක්‍රමයට සමාන දියුණු ආහාර පිසීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වෙලා තිබෙනවා.

ඉන් අදහස් කරන්නේ අපේ ආහාරවල ආහාරමය ගුණය වගේ ම ඖෂධීය ගුණයකුත් තිබෙන බවද?

ඔව්. වරකා සිවිඩ්ඩ දියවැඩියා රෝගීන්ට ගුණදායකයි. මස් බැද්දා කොළයක් කෑවම සීනිවල රසය දැනෙන්නේ වැලි කැට වගේ‍. උදේ අවදි වූ වහාම උණුවතුර බීලා කුරුඳු පොතු කෑල්ලක් කෑවොත් ලේවල සීනි අඩුවෙනවා.

පිටරට ආහාරවලට ආවැඩීම වගේ ම අපේ වැරැදි පුරුදුත් ලාංකේය ආහාර රටාවේ විනාශයට වගකිව යුතුයි නේද?

ලංකාව ඉන්දියානු සයු‍ෙර් මුතු ඇටය..‍. ඒත් දැන් බොරළු කැටයක් කරන්න කටයුතු සම්පාදනය වෙලා. රසායනික පොහොරවලින්, පලිබෝධනාශකවලින් සාරවත් පස බෝග විනාශ වෙලා. අපට ආවේණික මත්ස්‍යයන් බොහොමයක් අද දකින්න නැහැ.

ගෘහණියන් ආහාර පිසීමට ගන්නේ ලේසි පහසුවට කඩවල්, සුපිරි අලෙවි හල්වල ඇති කුළුබඩු පැකට්, මේවායේ මී බෙටි, කැරපොතු අඬු, පුන්නක්කු තියෙන්න පුළුවන් බව අමතක කරන්න එපා.

අතීතයේ අපේ ගෘහණියන් තුනපහ ගෙදරදීම සාදාගත්තා. සූදුරු, මාදුරු, කොත්තමල්ලි අඩංගු එක් ගුලියකට හා කහ, මිරිස්, ගම්මිරිස් වෙන්ව ඇඹරූ ගුලි තුන තුනපහ ලෙසින් හඳුන්වනවා. ඔවුන් ඒ හැම ගුලියක් මතම ලුණු කැටයක් තිබ්බා. ලුණු ටිකෙන් ටික පහතට ගලා විත් විස බීජවලින් ආරක්ෂාවක් ලැබෙනවා. ඒත් අද ගෘහණියන් අලසකම, වැඩ වැඩිකම නිසා තුනපහ නිවෙසේදී පිළියෙල කරගන්නේ නෑ.

ආහාර පිසීමේදී කෑමේ සුවඳ, රස වර්ණය ආරක්ෂාකර නොගැනීම තවත් වරදක්. බෝංචි පිසුවොත් එහි වර්ණය, රස, සුවඳ පිසූ පසුවත් රැකී තිබිය යුතුයි.
සූප වංශයෙන් සුවිශේෂීභාවය ගැන පැවසුවොත්…

අපේ රටේ ආහාරමය පැළෑටි සියයට අනූවක් ම ඡායාරූපත් සමඟ පලකර තිබෙනවා. මෙහි ලංකාවට ආවේණික අල වර්ග 56 ක්, ආවේණික පලතුරු 76 ක් ඇතුළු අපටම ආවේණික පැලෑටි 1450 ක් ඇතුළත්.

අවුරුදු දෙකෙන් දෙකට වෙනස් කළ හැකි විදියට කෘතිය නිර්මාණය වෙනවා. පිටු දහසකින් කෘතිය සමන්විතයි. මෙය මගේ ම වියදමින් කරන්නේ කෘතියට ලක්ෂ 35 – 40 ක් වැය වී තිබෙනවා. කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මට ඕන මේ වටිනා පොත පොත් රාක්කයක සුරැකෙනවා දකින්නයි.

බෝවෙන රෝගවලට වඩා දියවැඩියාව, හෘද රෝග, ආඝාතය, පිළිකා වැනි බෝ නොවන රෝග අහස උසට ඉහළ යන කාලයක ඉතිහාසයේ සිට අපට උරුම ආහාර ගැන අවබෝධයක් ලබාගැනීම වැදගත්.

කෘත්‍රිම රස, කෘත්‍රිම වර්ණක, සත්ත්ව තෙල්, සත්ත්ව කිරි නොයොදා සාදන ආහාර වට්ටෝරු රැසක් ඇති එකම රට ශ්‍රී ලංකාවයි. එම ආහාර රටාව ආරක්ෂාකර ගත්තොත් බෝ නොවන රෝගවලින් අප රැකෙනවා.

අඟුරු අදින කම්කරුවකු ලෙස ගල්කිස්ස හෝටලයට පැමිණි පබිලිස් සිල්වා ගල්කිස්ස හෝටලයේ මහා සූපවේදියාගේ සිට අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු දක්වා වෘත්තීය ජීවිතයේ හිනි පෙත්තටම නැඟ අවසන් ය. සූපවංශය ඔහුගේ පරමාදර්ශී වෘත්තීය ජීවිතයේ වටිනා අත්දැකීම් සම්භාරයෙන් ජාතියට තිළිණ වන මහඟු දායාදයයි.

[rns_reactions]