මහින්ද උත්තර දෙන්න ඕන හන්දි ගානෙ මයික් වලට නෙමෙයි

මහින්ද උත්තර දෙන්න ඕන හන්දි ගානෙ මයික් වලට නෙමෙයි
Spread the love

නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතේ පළවූ පුවත සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මෙරට පුවත්පත්වලට නොව එම පුවත්පතට පිළිතුරු දිය යුතුව ඇතැයි සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙරේදා (30) කළුතරදී ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ පැවසුවේ කළුතර දිසා ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස්‌ දක්‌වමිනි. එහිදී ඇමැතිවරයා තවදුරටත් මෙසේද කීය.

නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත ආවාට ගියාට ප්‍රවෘත්ති පළ කරන්නේ නැහැ. එම ප්‍රවෘත්තියේ අදාළ චෙක්‌පත් අංක, මුදල් ලබාදුන් පුද්ගලයන් බැංකු ආදිය සඳහන් කර තිබෙනවා. භික්‌ෂූන් වහන්සේ නමකටත් මුදල් ලබාදී තිබෙනවා.

එලෙස මුදල් ලබානුදුන් බවත්, එම පුවත වැරදි බවත් හිටපු ජනාධිපතිවරයා නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතට පැවැසිය යුතුයි. අදාළ චීන සමාගමවත් මෙම පුවත ප්‍රතික්‍ෂේප කර නැහැ. 

හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ සිදුවූ දූෂිත ගනුදෙනුවලින් සුළු ගනුදෙනුවක්‌ තමයි මේ වනවිට එළියට ඇවිත් තිබෙන්නේ. මෙරට මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට නීතිපති දෙපාර්තමේන්තුවට කළ නොහැකි වූ දෙයක්‌ ඇමරිකාවේ පත්තරයක්‌ සිදුකර තිබෙනවා. ඉන් අපට ඉගෙන ගැනීමට බොහෝ දේවල් තිබෙනවා. 

දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ වූවන්ට නඩු පැවරීමට අපේ නීතිපති දෙපාර්තමේන්තුවට කාලයක්‌ ගත වුණා. පසුගිය රජය සමයේ සිදුවූ සොරකම් මනුෂ්‍ය ඝාතනවල සියලු තොරතුරු දැන් ටික ටික එළියට එනවා.

මහින්ද රාජපක්‌ෂ මහතා හිටපු ජනාධිපතිවරයෙක්‌. එතුමා හන්දි ගානේ මයික්‍රෙෆොන්වලට උත්තර නොදී නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතට අදාළ කරුණු දැක්‌වීම කළ යුතුයි.